Tuesday, August 3, 2021

_කවියේ ප්‍රභවය_

 කවියේ ප්‍රභවය හෙවත් උපත පිළිබඳ ව   නිශ්චිත මතයක් ඉදිරිපත් වී නැත.  ඒ අරභයා විවිධ මතවාද පළ වී තිබේ. මෙසේ විවිධ මත ඉදිරිපත් වී තිබුණ ද කවියේ ප්‍රභවය පිළිබඳ ව නිශ්චිතව ම කරුණු කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.

1. කවිය මිනිසාගේ ආර්ථික හා සමාජ ජීවිතය සමඟ බද්ධ  වී ඉපදුණි.

2. සමාජ පරිණාමයට සමඟ සමාන්තර ව කාව්‍ය ආකෘති හා අදහස් වැඩුණි.

3. මිනිසා තම අද්දැකීම් සන්නිවේදනය තුළින් නොනැවතී තම භාවාත්මක ලෝකය, ආස්වාදය, සෞන්දර්ය පිළිබඳ ව අවශ්‍යතාවෙන් පෙළීම කවියේ උපතට හේතු විය.

සෑම කලාවක් මෙන් ම කවිය ද පොදු ජනයා අතර ඉපදී වැඩුණි. පසු ව එය විශේෂ පුහුණුවක් ලත් කවි නැතිනම් පඬි පිරිස අතරට පත් වූ බව පෙනේ.

පැරණි ග්‍රීසියේ විසූ විශිෂ්ටත ම ප‍ඬ්වරයෙකු වන ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රීය නම් විචාර කෘතිය ලියමින් කාව්‍යමය (සත්‍ය) නම් සංකල්පයක් පිළිබඳ ව සඳහන් කරයි.

භරතමුනි ද නාට්‍ය ශාස්ත්‍රයේ කවි රස විදීම පිළිබඳ ව ස‍ඳහන් කරයි.

සෑම රටක ම ආදිත ම කාව්‍ය සම්ප්‍රදාය ඉතිහාසය, වීරයන් හා ආගමික දේවල් සමඟ බැඳී පවතී. රිද්මය, තාලය ආදිය බහුතර මිනිසුන්ගේ කන පින වූ නිසා ආගම, නීතිය, විවිධ දේශපාලන අදහස් ව්‍යාප්ත කිරීම සඳහා කවිය උපයෝගි කර බව පෙනෙයි.

පසුකාලීන කවිය විදග්ධ කවි හා ජනකවි ලෙස සම්ප්‍රදාය දෙකකට බෙදී ගිය බව පෙනෙයි.

එහෙත් වරින් වර මේ සම්ප්‍රදායන් දෙක අතර මිශ්‍ර වීම හට ගත්තේ ය.

- වචන 

- සංකල්පය 

- විරිත් 

        ආදිය මෙසේ මිශ්‍ර විය.

සමාජය සමඟ ස‍ංස්කෘතිය ද, සංස්කෘතිය සමඟ භාෂාව ද, ඒ සමඟ කවිය ද වෙනස් විය. ඒ ඒ යුගවල සමාජයෙත්, සංස්කෘතියේත්, භාෂාවේත් ඇති වූ වෙනස කවියේ ද පිළිබිඹු වන්නේ මේ නිසා ය.

එක් එක් ජාතීන්ට අයත් කාව්‍ය සම්ප්‍රදායන් තිබෙන බව සත්‍යයකි. එහෙත් කවිය සමස්ත ලෝකයට ම පොදු දෙයකි.

සෙසු සියලු ජාතීන්ගේ කවිවල මෙන් ම සිංහල කවිය ද නිශ්චිතව ම මේ වර්ෂයේ මේ දිනයේ ඇරඹුණේ යැයි කිව නොහැකිය. එහෙත් දැනට හමු වී තිබෙන පැරණිත ම කවිවල භාෂාව හා ඒවායේ මූලාශ්‍රය පිළිබඳ අවධානය යොමු කරන සාහිත්‍ය ඉතිහාසඥයෝ සිංහල කවියේ ප්‍රභවය හා විකාශනය පිළිබඳ ව මත වාද පළ කරති.

පොදුවේ පිළිගැනෙන පරිදි ලංකා ඉතිහාසය ඇරඹෙන්නේ ක්‍රි. පූ. 5 වන සියවසෙනි. ඉන්දියාවෙන් මෙරටට පැමිණි ආර්‍ය භාෂාවන් කතා කරන කණ්ඩායම් ජනවාස බිහි කිරීම මෙම යුගයේ දී සිදු විය.

දැනට ශේෂ ව පවතින පැරණිත ම ශිලා ලේඛන හමු වන්නේ ක්‍රි.පූ 3 වන සියවසේ අපර භාගයේ සිට ය. ඒවා ඉතා කෙටි ගී කිහිපයකි.

"මහරඣහ ගමණි

අබයහ

දෙවන පියශ

රමණී බරිය මිලක තිශ

විහාරේ කාරිතෙ කතිය" 

ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මේ ආදිත ම ශිලා ලේඛනවල පවා කාව්‍යමය ගුණය, කාව්‍යමය ලක්ෂණ දක්නට ඇති බවයි. එනම් තාල, විරිත් ආදියෙන් යුක්ත වන බවයි.(සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය - නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි)

එනමුත් දැනට අප දකින ප්‍රථම සිංහල කවි පොත සියබස්ලකරයි. මෙය 807-823 කාලය තුළ ලියූවක් යැයි සැලකෙයි. සියබස්ලකර යනු  සිංහල භාෂාවේ අලංකාර පිළිබඳ ව විස්තර කරන කෘතියකි.

මේ කාලය වන විටත් කවි ලිවීම හා රසවින්දනය විශාල වශයෙන් පැවති බව මෙබඳු පොතක් ලියවීමෙන් පෙනෙයි.


No comments:

Post a Comment

  ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා  පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...