Showing posts with label _ලිපි_. Show all posts
Showing posts with label _ලිපි_. Show all posts

Sunday, August 8, 2021

_විරාගය නවකතාව හා සිනමා පටය ගලා යන ආකාරය_

     

1987 ඔක්තොබර් 02 වන දින තිරගත වීම ආරම්භ කරන ලද විරාගය චිත්‍රපටය සම්භාව්‍ය චිත්‍රපටයකි. එය මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ විරාගය කෘතිය අළලා නිර්මාණය වූවකි. මෙය තිස්ස අබේසේකරයන්ගේ තිර රචනය හා අධ්‍යක්ෂණය ඔස්සේ නිර්මාණය විය. විරාගය නවකතාවේ  එන චරිතවලට සජීවී බවක් ලබා දුන් චරිත ලෙස,

   අරවින්ද - සනත් ගුණතිලක

   සරෝජිනී - ශ්‍රියානී අමරසේන

    බතී - සබීතා පෙරේරා

    සිරිදාස - ඩග්ලස් රණසිංහ

    ජයසේන වෙද මහත්තයා - ජෝ අබේවික්‍රම

     වෙද හාමිනේ - සෝමලතා සුබසිංහ

     මේනකා - සුනේත්‍රා සරත්චන්ද්‍ර   

                             යනාදී නළු නිළියන් මෙම අග්‍රගණ්‍ය නිර්මාණය සඳහා සහය දක්වන ලදී.

       තිස්ස අබේසේකර අද්විතීය ලෙස තිර නාටකය සකසා කාව්‍යයක් මෙන් නිර්මාණය කිරීම හා කෘතියෙන් ලැබෙන තෘප්තිය ම සිනමා පටයෙනුත් ලබා දී ඇත. එයට කැමරා අධ්‍යක්ෂණය, සංගීතය හා වේෂ නිරූපණය විශිෂ්ට මෙහෙවරක් කර තිබුණි.


ගලා යන ආකාරය අනුව විරාගය නවකතාව හා සිනමා පටය අතර ඇති වෙනස්කම්


Ø විරාගය සිනමාපටය ආරම්භ වනුයේ සැමීගේ හා වජිරාගේ දුරකථන සංවාදයෙනි. වජිරා යනු සරෝජිනිගේ දියණිය වේ. චිත්‍රපටයේ වජිරා පිළිබඳ දැක්වෙනුයේ එක් අවස්ථාවක් පමණි.

සිරිදාසත් ඔහුගේ බිරිඳත් දැන් ජීවතුන් අතර නැත. ඔවුන්ගේ එකම දුව වූ වජිරා සිංගප්පූරුවේ ධනවත් සිංහල වෙළෙන්දෙකුගේ පුතෙකු හා විවාහ වී එහි ගොස් පදිංචි වූවා ය.

 

Ø බිමල් යන චරිතය කෘතියේ දක්නට නොලැබේ.

සිනමා පටයේ වජිරා හා බිමල්, සැමී මුණ ගැසි කෘතිය පිළිබඳ විමසීමකට ලක් කරයි. එහි දී සැමී පවසනුයේ අරවින්ද ලියූ අත්පිටපත ඔහුට ලැබුණේ වජිරා මාර්ගයෙන් බවත් එය සංස්කරණය කර පළ කළේ වජිරා හා සරෝජිනී විදේශ ගත වී ටික කලකට පසු ව බවත් ය.

නමුත් විරාගය කෘතියේ අන්දමට මෙම අත්පිටපත සැමීට ලැබෙනුයේ සිරිදාසගේ නිවසේ දී ය.

විරාගය සිනමාපටයේ මෙම කතාව පවසන්නේ වජිරාට සහ බිමල්ට ය. ඔවුන් සතු ව සංස්කරණය සහිත මුද්‍රණය කළ විරාගය කෘතිය ද ඇත. එය කෘතියේ ඇති මෙම පාඨයෙන් ඉදිරියට ගලා යයි.       

මා සමඟ එක පන්තියේ ඉගෙන ගනිමින් එකට කෙළි සෙල්ලම් කළ විවාහ ජීවිතයට ඇතුළු වූ පසු ද මා ඇසුරු කළ සිරිදාස ජයසේන දැකීමට......" ( කෘතියේ 1 පරිච්ඡේදයේ ආරම්භය)


Ø කෘතියේ පරිදි ම චිත්‍රපටයේ ද සැමී, සිරිදාස  හා සරෝජිනී, සැමීගේ ආ ගිය තොරතුරු විමසීමක් සිදු කරයි. සිනමාපටයේ සරෝජිනීගේ දියණියගේ දර්ශන පෙන්වන අතර කෘතීයේ එවැනි දෙයක් සඳහන් නොවේ. මොවුන් කතා බස් කරනුයේ සැමීගේ ඉන්දියානු ගමන හා ගුප්ත විද්‍යාව පිළිබඳ වේ. මේ අවස්ථාවේ සිනමා පටයේ එන දෙබස් කෘතියේ ද එලෙසින් ම පවති.

 මම ඉන්දියාවේ ගොස් අවුරුද්දකට වැඩි කාලයක් එහි ගත කළා.

එහෙනම් ඔක්කොම සිද්ධස්ථාන වඳින්න ඇති

ඒකට අවුරුද්දක් උවමනාය?

 

Ø කෘතියේ සිරිදාස යන්ත්‍ර මන්ත්‍ර හා ගුප්ත විද්‍යාව පිලිබඳ දැඩි විශ්වාසයක් ඇති බව කියා සිටිය ද සිනමාවේ දී ඒ  බවක් ගම්‍ය නොකෙරෙයි. සැමී හා සිරිදාස අරවින්දගේ ජීවිත කතාව ලියූ කෘතිය සොයන අවස්ථාවේ සැමී අරවින්දගේ කෘතී පෙරළා බලන ආකාරය කෘතියේ දක්වනුයේ මෙලෙසිනි.

  ඒ කුණු ගොඩ ඇවිස්සීමට මා තුළ හට ගත්තේ මැණික් ගරන්නෙකුගේ කුහුලත් ආසාවටත් වැඩි කුහුල් ආසාවකි. (6 පිටුව)

මෙම සැමීගේ සිතේ පැවති ආශාව රංගනයේ දී වඩාත් වීෂද වන ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට සමත් වී ඇත.

  අරවින්දට ප්‍රේම කළ සරෝජිනී, අරවින්දගේ ජීවිත කතාව ලියු කෘතිය දැකීමට හා කියවීමට ආස කළේය. කෘතිය තුළ සරෝජිනි එම කෘතිය පිළිබඳ එන හැඟීම පාඨකයාට විෂද නොවූ ව ද සිනමාවේ දී සරෝජිනී එම අත්පිටපත ආදරයෙන් පරිමදින ආකාරය දකින විට ප්‍රේක්ෂකයාට ඇයගේ හැඟීම් විෂද වේ.


Ø කෘතිය හා සිනමාව ගත් කළ කෘතියේ ඇති දෑ  බැහැර කළ අවශ්‍ය දෑ පමණක් සිනමාවට නගා ඇති බවක් පෙනේ.

සැමී අරවින්දගේ අත් පිටපත කියවා අවසන් කිරීමට දරන උත්සාහය කෘතියේ ගම්‍ය වන       අතර සිනමාවේ නැත.


Ø හොඳ වෙදෙකු ලෙස ගැමියන්ගේ ගරු බුහුමන් හා තෑගි බෝග ද ලැබු මගේ පියා ඇතැම්  විට ගෙයින් පිට දී ගොළුවෙකි යි සිතන තරම් අඩු කතා ඇත්තෙකි.මෙම පාඨය කෘතිය තුළ ද අන්තර්ගතවන අතර සිනමාවේ දී අරවින්දගේ පියා පිළිබඳ සංක්ෂිප්ත ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලැබේ.

 

Ø කෘතියේ තැන් දෙකක ඇති සිද්ධි එකට ගළපා එක් සිද්ධියක් ලෙස සිනමාවේ දක්වා ඇත.

1. "අරවින්ද දොස්තර විභාගේ සඳහා ඉගෙන ගන්න ඕනෑ" (31)

"ගෙම්බන් කපන්නටත් මළ කඳන් කපන්නටත් බැරිය" (16)

"කසාද බැදලා ගෑනුත් බදාගෙන ඉඹින්න හොඳයි මළකඳන් අතගාන්න තමයි  බැරි"(16)

 

2. "දොස්තර විභාගේ ගන්න ගියේ සිනීයර් පාස් කරලා තවත් අවුරුදු  6ක් ඉගෙන ගන්න      ඕනෑ" (31)

 "එහෙනම් ඒකත් ලේසි වැඩක් නෙමෙයි" (31)

"වියදම් කරනෙක මගේ වැඩක්" (31)

ඉහත අවස්ථා දෙකෙහි ම කතා කරනුයේ අරවින්දගේ දොස්තර විභාගය ගැන කියවේ. එම නිසා සිනමාවේ, එම අවස්ථා 02න් ගත් පාඨ එකතු කර එක සිද්ධියක් ගොඩ නගා ඇත.

  

Ø සිනමාවේ සිද්ධි පෙළගස්වා ඇත්තේ කෘතියේ පිළිවෙළට නො ව එය යම් යම් වෙනස්වීම්වලට ලක් කර ඇත.

සැමී, අරවින්දගේ මරණය පිළිබඳ කෘතියේ අසනුයේ අරවින්දගේ අත් පිටපත හමුවීමටත් ප්‍රථම ය. නමුත් සිනමාවේ දී එය අසනුයේ සැමී, අරවින්ද පිළිබඳ කතා කරන අවස්ථාවේ දී ය.

 

Ø කෑම මේසයේ අරවින්ද පිළිබඳ සරෝජිනී, සිරිදාස හා බතී කතා බස් කරන විට සරෝජීනිට අතීත සිදුවීම් සිහිවන අවස්ථාවක් ලෙස කැරෝල් පෙරහැර දා රාත්‍රියහි සිදුවන සිදුවීම් කිහිපයක් සිහියට නැගෙයි. ඒ අවස්ථාවේ සිනමාපටයේ වෙසක් පහනක් ගිනිගෙන දැවෙන අවස්ථාවක් දර්ශනය වුව ද, කෘතියේ එවැනි අවස්ථාවක් නැත.

 

Ø විරාගය චිත්‍රපටයේ අරවින්දගේ පියා අසනීප වූ මොහොතේ ඔරලෝසුවේ කටුව ඉක්මනින් කැරකෙන ශබ්දය පසුබිමින් ප්‍රේක්ෂකයාට ඇසීමට සලස්වයි. එම අවස්ථාව කෘතියේ දක්වනුයේ මෙලෙසිනි.

බිත්ති මුල්ලෙහි කුඩා මේසය උඩ වු ඔරලෝසුව ටීක් ටීක් හඬ නගයි."


Ø අරවින්ද බලාපොරොත්තු ව සිටි පියාගේ මරණය සිනමාවට ගෙන ඒමේ දී එය ප්‍රේක්ෂකයාට වඩාත් දැනෙන පරිදි ගෙන ඒමට සිනමාකරු සමත් වී ඇත. මවගේ හා මේනකාගේ ලතෝනිය සමඟ ඇහැරෙන අරවින්ද සිදු කරනුයේ චිමිනි ලාම්පුවේ දැල්ල නිවා දැමීමයි. එය කෘතියේ දක්නට නොලැබෙන ප්‍රබල සංකේතයකි.

මේනකාගේ සහ මවගේ විරසකය ආරම්භය පිළිබඳ කෘතියේ දැක්වෙනුයේ පියාගේ මරණයෙන් පසු ව වේ. නමුත් සිනමාවේ එම අවස්ථාව දක්වනුයේ තැපැල් මහත්තයා සමඟ අරවින්ද සංවාදයේ යෙදී සිටින විට තැපැල් මහතා මව ගැන විමසූ අවස්ථාවේ දී ය.


Ø සරෝජිනීට යැවූ පිළිතුරු ලියුමෙන් පසු ව සරෝජිනී හා සිරිදාස විවාහ විය. කෘතියේ ලෙසට සිරිදාස මේනකාට කියා සිටිනුයේ කාටවත් ආදරය කරන්නටවත් ඊරිසියා කරන්නටවත් අරවින්දට පුළුවන් කමක් නැහැ ලෙසිනි. ඉන්පසු මේනකා පැවසුයේ "ඊරිසියා කරන්න බැරි මිනිහෙක් ආලය කරන්නේ කොහොමද?" යනුවෙනි. මෙම පාඨය කෘතියේ පැවතිය ද සිනමාවට නැගිමේ දී එම දෙබස නොමැති වීම හිස් බවක් සේ දැනෙයි.


Ø අරවින්දගේ කුඩා විද්‍යාගාරය පිපිරීමෙන් පසු ඔහුගේ ඇඟිල්ලට තුවාල සිදු විය. එහි දී සිනමාපටයේ "මාමාගේ අත තුවාල වෙලා නේද?" සිරිදාස ඇසුව ද, කෘතියේ එවැන්නක් සඳහන් නොවේ. ඉන් සිනමා පටය තුළ, අරවින්දගේ හා සිරිදාසගේ බැඳීම මනා ව විදහා පෙනෙයි.


Ø අරවින්දගේ විද්‍යාගාරය පිපිරීමෙන් පසු ව ඔහුට නව නිවසකට යාමට සිදු වේ. එම නිවසේ ආහාර අනුභව කරමින් බතීගේ නම, වයස ආදිය ප්‍රශ්න කරයි. එම කොටස කෘතියේ ඇතුළත් නොවේ.

 

Ø සිනමා පටයේ බතීගේ වයස අවුරුදු 10ක් ලෙස පැවසුවත් කෘතියේ බතීගේ වයස දැක්වෙන්නේ අවුරුදු 08ක් ලෙස ය.

"අට හැවිරිදි දුවක ඇති මැදි වියෙහි වූ ගුණවතී මගේ ගෙදර වැඩ පල කරයි."(118)


Ø කෘතියේ "කුලසූරිය කුහකයෙක් නෙවි නම් ඒ මිනිහා කාලකණ්ණියෙක්. කුලසූරිය වගේ දැන් උඹටත් අදින්න ඕනෑ නෑ. ඒ මිනිහා හොඳට කනවා. උඹට කන්න ඕනත් නෑ. නුඹ වැඩකාර ගෑනිගේ දුව හොඳට අන්දලා..."(133) වැනි දෙබස් මෙන් ම අරවින්ද ඊට දක්වන ප්‍රතිචාරය ඇතුළත් දෙබස් සිනමාවේ මඟ හැරී තිබේ.

 

Ø බතී කවියක් ලියා අරවින්දට අසුවීමට තබන අවස්ථාවේ ඒ කවියෙහි පද පේළි සිනමා පටයේ ගායනා කොට පෙන්වූව ද කෘතියේ ඒ පද පේළි සඳහන් නොවේ.

 

Ø "බතී කවි හදන්නට ඉගෙන ගත්තේ කොහොමද?"යි මම ප්‍රශ්න කළෙමි. යනුවෙන් කෘතියේ සඳහන් වුව ද, සිනමා පටයේ එම දෙබස ඉතා කෝපයෙන් ඇසූවක් ලෙස දක්වා ඇත.

මේනකා, බතී පුරුෂයෙකුට ලියූ ලිපියක් අරවින්දට ගෙනවිත් දෙයි. ඒ පිළිබඳ ව අරවින්ද බතීගෙන් විමසූ විට දී, අරවින්ද බතීට කෝටුවකින් පහර දෙන බව කෘතියේ දක්වා තිබුණ ද, සිනමා පටයේ එය දක්වා ඇත්තේ කම්මුලට අතින් පහර දෙන ආකාරයකි.

 

Ø සරෝජිනි එවූ ලියුම් අරවින්ද නියවන අවස්ථාවෙහි, එහි තිබූ දේ පිළිබඳ ව කෘතියේ සඳහන් නොවූව ද, සිනමා පටයේ එය මනා ව දක්වා තිබේ.

 

Ø අරවින්ද, බතීගේ විවාහ මංගල්‍යයට මේනකාට ආරාධනා කළ අවස්ථාවෙහි ඇය අරවින්දටත්, බතීටත් පරුෂ වචනයෙන් බැන වදින ආකාරය සිනමා පටයේ සඳහන් වේ. කෘතියේ එතරම් රළු වදන් දක්වා නැත. කෘතියේ,

"මට කච්චේරියට එන්න බැහැ අරවින්ද" කියමින් අක්කා යළිත් මා පුටුවෙහි වාඩි කරවීමට වෑයම් කළාය. ඉඳපං බත් කාලා යන්න. ධර්මදාස නැතු ව මම විතරක් බතී එක්ක කච්චේරියට යන්නේ කොහොමද?..."

 

Ø  සිනමා පටයේ බතීගේ විවාහයෙන් පසු ව අරවින්ද අසනීප වී සිටින බව පෙන්නුවත්, කෘතියේ එය සඳහන් වන්නේ පසුව ය.

 

Ø බතී අරවින්දට උපස්ථාන කරන විට, අරවින්දගේ සිතෙහි හැඟීම් කෘතියේ දීර්ඝ ව දැක්වූවත්, සිනමාවේ එය ඉතා කෙටියෙන් දක්වා තිබේ.

 

Ø සිනමා පටය අවසන් වන්නේ සරෝජිනී හා සැමීගේ සංවාදයෙනි. ඒ අරවින්දගේ මරණය පිළිබඳ ව ය. නමුත් කෘතිය අවසන් වන්නේ අරවින්දගේ හැඟීම් තුළිනි.   

 

Tuesday, August 3, 2021

_කවියේ ප්‍රභවය_

 කවියේ ප්‍රභවය හෙවත් උපත පිළිබඳ ව   නිශ්චිත මතයක් ඉදිරිපත් වී නැත.  ඒ අරභයා විවිධ මතවාද පළ වී තිබේ. මෙසේ විවිධ මත ඉදිරිපත් වී තිබුණ ද කවියේ ප්‍රභවය පිළිබඳ ව නිශ්චිතව ම කරුණු කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.

1. කවිය මිනිසාගේ ආර්ථික හා සමාජ ජීවිතය සමඟ බද්ධ  වී ඉපදුණි.

2. සමාජ පරිණාමයට සමඟ සමාන්තර ව කාව්‍ය ආකෘති හා අදහස් වැඩුණි.

3. මිනිසා තම අද්දැකීම් සන්නිවේදනය තුළින් නොනැවතී තම භාවාත්මක ලෝකය, ආස්වාදය, සෞන්දර්ය පිළිබඳ ව අවශ්‍යතාවෙන් පෙළීම කවියේ උපතට හේතු විය.

සෑම කලාවක් මෙන් ම කවිය ද පොදු ජනයා අතර ඉපදී වැඩුණි. පසු ව එය විශේෂ පුහුණුවක් ලත් කවි නැතිනම් පඬි පිරිස අතරට පත් වූ බව පෙනේ.

පැරණි ග්‍රීසියේ විසූ විශිෂ්ටත ම ප‍ඬ්වරයෙකු වන ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රීය නම් විචාර කෘතිය ලියමින් කාව්‍යමය (සත්‍ය) නම් සංකල්පයක් පිළිබඳ ව සඳහන් කරයි.

භරතමුනි ද නාට්‍ය ශාස්ත්‍රයේ කවි රස විදීම පිළිබඳ ව ස‍ඳහන් කරයි.

සෑම රටක ම ආදිත ම කාව්‍ය සම්ප්‍රදාය ඉතිහාසය, වීරයන් හා ආගමික දේවල් සමඟ බැඳී පවතී. රිද්මය, තාලය ආදිය බහුතර මිනිසුන්ගේ කන පින වූ නිසා ආගම, නීතිය, විවිධ දේශපාලන අදහස් ව්‍යාප්ත කිරීම සඳහා කවිය උපයෝගි කර බව පෙනෙයි.

පසුකාලීන කවිය විදග්ධ කවි හා ජනකවි ලෙස සම්ප්‍රදාය දෙකකට බෙදී ගිය බව පෙනෙයි.

එහෙත් වරින් වර මේ සම්ප්‍රදායන් දෙක අතර මිශ්‍ර වීම හට ගත්තේ ය.

- වචන 

- සංකල්පය 

- විරිත් 

        ආදිය මෙසේ මිශ්‍ර විය.

සමාජය සමඟ ස‍ංස්කෘතිය ද, සංස්කෘතිය සමඟ භාෂාව ද, ඒ සමඟ කවිය ද වෙනස් විය. ඒ ඒ යුගවල සමාජයෙත්, සංස්කෘතියේත්, භාෂාවේත් ඇති වූ වෙනස කවියේ ද පිළිබිඹු වන්නේ මේ නිසා ය.

එක් එක් ජාතීන්ට අයත් කාව්‍ය සම්ප්‍රදායන් තිබෙන බව සත්‍යයකි. එහෙත් කවිය සමස්ත ලෝකයට ම පොදු දෙයකි.

සෙසු සියලු ජාතීන්ගේ කවිවල මෙන් ම සිංහල කවිය ද නිශ්චිතව ම මේ වර්ෂයේ මේ දිනයේ ඇරඹුණේ යැයි කිව නොහැකිය. එහෙත් දැනට හමු වී තිබෙන පැරණිත ම කවිවල භාෂාව හා ඒවායේ මූලාශ්‍රය පිළිබඳ අවධානය යොමු කරන සාහිත්‍ය ඉතිහාසඥයෝ සිංහල කවියේ ප්‍රභවය හා විකාශනය පිළිබඳ ව මත වාද පළ කරති.

පොදුවේ පිළිගැනෙන පරිදි ලංකා ඉතිහාසය ඇරඹෙන්නේ ක්‍රි. පූ. 5 වන සියවසෙනි. ඉන්දියාවෙන් මෙරටට පැමිණි ආර්‍ය භාෂාවන් කතා කරන කණ්ඩායම් ජනවාස බිහි කිරීම මෙම යුගයේ දී සිදු විය.

දැනට ශේෂ ව පවතින පැරණිත ම ශිලා ලේඛන හමු වන්නේ ක්‍රි.පූ 3 වන සියවසේ අපර භාගයේ සිට ය. ඒවා ඉතා කෙටි ගී කිහිපයකි.

"මහරඣහ ගමණි

අබයහ

දෙවන පියශ

රමණී බරිය මිලක තිශ

විහාරේ කාරිතෙ කතිය" 

ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මේ ආදිත ම ශිලා ලේඛනවල පවා කාව්‍යමය ගුණය, කාව්‍යමය ලක්ෂණ දක්නට ඇති බවයි. එනම් තාල, විරිත් ආදියෙන් යුක්ත වන බවයි.(සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය - නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි)

එනමුත් දැනට අප දකින ප්‍රථම සිංහල කවි පොත සියබස්ලකරයි. මෙය 807-823 කාලය තුළ ලියූවක් යැයි සැලකෙයි. සියබස්ලකර යනු  සිංහල භාෂාවේ අලංකාර පිළිබඳ ව විස්තර කරන කෘතියකි.

මේ කාලය වන විටත් කවි ලිවීම හා රසවින්දනය විශාල වශයෙන් පැවති බව මෙබඳු පොතක් ලියවීමෙන් පෙනෙයි.


Monday, August 2, 2021

_වාග් විද්‍යාව හැඳින්වීම_

වාග්විද්‍යාව යනු භාෂාව පිළිබඳ ව විද්‍යාත්මක අධ්‍යයනයක් යැයි සරල ව දැක්විය හැකිය. 

සාමාන්‍ය වාග්විද්‍යාව තුළ භාෂාවේ සංයුතිය හා අර්ථය වැනි උප ක්ෂේත්‍ර කිහිපයක් අන්තර්ගත ව්‍යාකරණ අධ්‍යයන කුල පවතී. මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් කොටස් ලෙස,

1. ශබ්ද ක්‍රම හා සාරාංශ ශබ්ද ඒකක අධ්‍යයනය කරන ශබ්ද විද්‍යාව

2. කථන ශබ්දයන්හි අඩංගු මූලික ලක්ෂණ 

3. භාෂා නොවන ශබ්දයන් හා ඒවා ඒවා නිපැයෙන්නේ හා තේරුම් ගන්නේ කෙසේද යන්න කෙසේද යන්න පිළිබඳ ව අධ්‍යනය කරයි.

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ "භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය කෘතියෙහි මෙසේ දක්වා තිබේ.

"භාෂාව වාග්විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයයි. වාග්විද්‍යාව නම් භාෂාවක් පිළිබඳ ව හෝ භාෂා කිහිපයක් පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයයි."

වාග්විද්‍යාව යන්න සෑදී ඇත්තේ වාච් - විද්‍යා යන වචන දෙක සමාස වීමෙනි. සංස්කෘත පද සාධන නීති අනුව මෙහි වාච් යන්න වාක් වන අතර, ඝෝෂාදේෂ සන්ධියෙන් වාක් - වාග් බවට පත් වී ඇති බව විචාරක මතයයි. වචනය හෙවත් භාෂණය පිළිබඳ ව විද්‍යාව යනු එහි වාච්‍යාර්ථයයි.

භාෂා යන්න බොහෝ දුරට වාච්/වාක් යන්නට සමානාර්ථවත් පදයකි. එහෙත් මේ වචන දෙක ම විවිධ වූ තවත් අරුත් පළ කිරීම සඳහා ද ජනවහරෙහි මෙන් ම සේ වහරෙහි යෙදෙන අවස්ථා දක්නට ලැබේ.

භාෂා යන්නත් වාග් යන්නත් වඩා පුළුල් ලෙස ජනවහරෙහි යෙදෙන්නකි. එසේ හෙයින් භාෂාව පිළිබඳ ව ශාස්ත්‍රීය අධ්‍යනයක් කිරීමේ දී පළමු කොට ම එම අධ්‍යනයෙහිලා භාෂා යන්නෙන් අභිප්‍රේත වන අරුත පිළිබඳ ව අර්ථ නිශ්චය කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

භාෂා යන්න භෂ් ධාතුවෙන් උපන් කෘදන්ත නාමයකි.

වාග්විද්‍යාවේ නිතර යෙදෙන වාග්/වාක් වචන ආදී කෘදන්ත නාමයන්ට   මුල් වූ වච් ධාතුව ද ව්‍යක්ත වචන  අර්ථයෙහි යෙදෙන්නකි. වාක්/වාග් යන්න බොහෝ දුරට භාෂා යන්න සමාන සේ සලකන්නේ එහෙයිනි.

වාග්විද්‍යාවේ දී භාෂා යන්න ඉංග්‍රීසියෙන් language යන වචනය සමඟ ද, භාෂණ යන්න speech යන වචනය සම‍ඟ ද බොහෝ දුරට සමාන බව සැලකෙයි.

අරුත් ලෙස මේ දෙකෙහි පවතින වෙනස්කම්  වාග් විද්‍යාඥයන් විසින් වැදගත් කොට සලකන්නට පටන් ගත්තේ 18 -20 සියවස්වල විශේෂ අවධානයක් යොමු වූ ඓතිහාසික තුලනාත්මක වාග්විද්‍යා අවස්ථාව ඉක්මවා, භාෂා අධ්‍යයනය නූතන වාග්විද්‍යා අවස්ථාවට එළඹීමත් සමඟය.

20 වන සියවසේ පළමු දශකයේ දී ෆර්දිනන්ද් දී සොයුස්‍යෝ නම් වාග් විද්‍යාඥයා විසින් ජිනීවා  විශ්වවිද්‍යාලයේ දී සාමාන්‍ය  වාග්විද්‍යාව පිළිබඳ ව පාඨාවලීයක් නමින් ප්‍රංශ භාෂාවෙන් පාඨමාලාවක් පැවැත් වීය.

එහිදී භාෂාව හා සම්බන්ධ වූ සුවිශේෂී අවස්ථා තුනක් කෙරෙහි විමර්ශකයන්ගේ අවධානය යොමු විය.

1. La language - භාෂාව

2. Le language - අරුත

3. La parole - භාෂණය

යන ප්‍රංශ භාෂා නම් වලිනි.

ඔහුගේ විවරණයට අනුව මින් පළමුවැන්න සමාජයට අයත් සමාජ සංසිද්ධියකි. දෙවැන්න පුද්ගලයාට අයත් වූ පෞද්ගලික කාර්‍යකි. 

වාග්විද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නිර්වචන කිහිපයක් මෙසේ ය.

"ශාස්ත්‍රීය විෂයයන් අතරින් වාග්විද්‍යාව යනු ඉතාමත් උණුසුම් ලෙස වාද විවාද කරන ලද විෂයක් වෙයි." ( රස් රයිමර්) 

19 වන සියවසේ අග භාගයේ දී නූතන වාග්විද්‍යාවේ ආරම්භය සිදු විය. සිංහලයට වාග්විද්‍යාව හඳුන්වා දීමේ ගෞරවය මහාචාර්ය සුගතපාල සිල්වාට හිමිවේ. ඔහුට අනුව වාග්විද්‍යාව යනු, "භාෂාවේ පැවැත්ම පරීක්ෂා කරන විද්‍යාවයි."


Wednesday, July 21, 2021

_මායා යථාර්ථවාදී රීතිය_ "සියක් වසක හුදකලාව"

         මායා යථාර්ථවාදී රීතිය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මුලින් ම හමුවන කෘතියක් ලෙස සියක් වසක හුදකලාව නම් කෘතිය හැඳින්විය හැකිය.1530 වර්ෂයෙන් පසු කාලීනව බිහි වූ ලතින් ඇමරිකානු සාහිත්‍ය තුළ ප්‍රධාන තැනක් හිමිවන රචකයෙකු වූ ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් මෙම කෘතියේ කර්තෘ ලෙස සැලකේ.ප්‍රකට කොලොම්බියානු ජාතික ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්, කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් වන මොහු සියල්ලට ම වඩා
One Hundred Of Years of Solitude” එනම් සියක් වසක හුදකලාව නැමැති කෘතිය ලියා ලෝකය උඩු යටිකුරු කළ අයෙකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වේ.

1982දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි වූ අගනා කෘතියක් ලෙස සියක් වසක හුදෙකලාව කෘතිය සම්මානයෙන් පිදුම් ලැබී ය. ගාර්ෂියා මාර්කේස්ගේ සියලු කෘති අතුරින්  One Hundred Years of Solitude (සියක් වසක හුදකලාව) නවකතාව වඩාත් සිත්ගන්නා සුලු හා වඩාත් ම සංකීර්ණ ය. එය ඔහුගේ වාණිජමය වශයෙන් වඩාත් ම සාර්ථක නවකතාව බවට පත් විය. One Hundred Years of Solitude ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ විශිෂ්ටත ම කෘතිය වූ අතර එම නවකතාවට සඳහා පුලිට්සර් ත්‍යාගය පිරිනමන ලදී.

මෙම කෘතිය තුළින් මායා යථාර්ථවාදී රීතිය නොහොත් ඉන්ද්‍ර ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යන සංකල්පය ලොව පුරා ප්‍රචලිත විය.මාර්කේස්ගේමෙම කෘතිය තුළ සෑම පිටුවකින් ම magic realism  ශෛලිය නැතිනම් මායා යථාර්ථවාදය සඳහා උදාහරණ සොයා ගත හැකිය.

මායා යථාර්ථවාදය නැමැති සංකල්පය කරළියට ආවේ රෝමාන්තිකවාදයට එරෙහි ව නැගී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේ වුව ද මෙම මායා යථාර්ථවාදී ශෛලිය නිසා කිසිසේත් ම යථාර්ථවාදය ඛණ්ඩනය වූයේ නැත. පවතින සත්‍යය, යථාර්ථය වෙනත් සන්දර්භයක් යටතේ විශ්ලේෂණය කිරීම මායා යථාර්ථවාදයෙන් සිදු විය.

මේ ශෛලියට ලියැවුණු වෙනත් කෘති ලෙස මාර්කේස්ගේ කොලරා කාලේ ආලේ”, කෆ්කාගේ ඇමරිකා, නඩු විභාගය, බලකොටු මාලිගාව වැනි බොහෝ කෘතීන් මෙන් ම සිංහල කතා කලාවේ මොහාන් රාජ් මඩවලගේමාගම් සෝලිය, ලොවීනා හා සයිමන් නවගත්තේගමගේ සංසාරයේ දඩයක්කාරයා වැනි කෘති තුළ ද මෙම ශෛලිය ඉස්මතු වී පෙනෙයි.

සියක් වසක හුදෙකලාව කෘතිය තුළ මාර්කේස් ඇමරිකානු මහද්වීපයට ම ආවේණික ස්වභාවිකත්වය, ජන කතා, විහිලු, පුරාණෝක්ති යන සියල්ල එකට කැටි කරගත් දැවැන්ත රූපමය ගොඩනැංවීමක් සිදු කර තිබේ යැයි සිතමි. කෘතිය මදක් කියවාගෙන යාමේදී අප ජීවත්වන සැබෑ ලෝකයෙන් වෙනස් ස්වභාවයක් හැඟේ. මාර්කේස්ගේ මෙම වෙනසට හේතු වූ පසුබිම ඔහු මෙසේ ඉදිරිපත් කොට ඇත.

මගෙ ජීවිතේ පැහැදිලි බෙදුමක් තිබුනා…එකක් තමයි මගේ සීයගෙ දැඩි යථාර්ථවත් ලෝකය…ඒකෙ තිබුනේ ඔහු කර්නල් කෙනෙක් හැටියට සහභාගි වූ සිවිල් යුද්ධවල ඉතිහාසය…ඊළඟට මගේ ආච්චිගෙ ලෝකේ….ඒක සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් පිට තිබුන ෆැන්ටසිමය ලෝකයක්….” -ගාර්ෂියාමාර්කේස් ( NRP Radio interview )-

  කෘතිය තුළ පිළිබිඹු වන්නේ පරම්පරා හතක කතාවෙකි. මේ පරම්පරා 7 දක්වා ම බුඑන්ඩියා සහ උර්සුලා ජීවත් වේ. මේ තුළින් පැහැදිලිව ම කෘතිය තුළ මායා යථාර්ථවාදය දැඩි සේ ගැබ්ව ඇති බව පෙනෙයි. සාමාන්‍ය මිනිසෙකුට පරම්පරා හතක් ජීවත්වීමට ජීවත් වීමට කිසිසේත්මනොහැකි ය. නමුත් කෘතියෙ බුඑන්ඩියා හා උර්සුලා පරම්පරා හතක් ම ජීවත් වේ. අවසානයේ බුඑන්ඩියා උමතු වුවද ඔහුගේ ජවසම්පන්න සොබාව තවමත් එලෙසම පවතින හෙයින් එළිමහනේ ගසක බැඳ තබන්නට සිදු වන බව කෘතියේ දක්වා ඇත.

මායා යථාර්ථවාදය ඉස්මතු වන තවත් අවස්ථාවක් ලෙස පුද්ගලයෙකු සර්පයකු වූ පුවතක් සඳහන් වේ.ඒ ඔහුගේ වරදක් හේතුවෙනි. නමුත් පුද්ගලයෙකු කොතරම් වරදක් සිදු කළ ද ශරීර අංග ලක්ෂණ වෙනස් වන පුවතක් සැබෑලෝකයෙන් දුරස් ය. බුදු දහමට අනුව මෙලොවින් තුරන් වී යළි උපදින ආත්මභාවයක එකී විපාක පලදුන්අවසථා අසා තිබුණද සාමාන්‍ය ලෝකයේ එවැනි ශරීර අංග ලක්ෂණ වෙනස් වීම කිසිසේත් ම විය නොහැකි සිද්ධියකි.

"පබළු වලින් ගෙල බරවූ ඉතාම ළාබාල අහිකුන්ඨක ගැහැණු ළමයෙකි. ඇය සිටියේ තම මව්පියන්ට අකීකරු වීම නිසා සර්පයකු බවට පත් වූ මිනිසාගේ දුක්මුසු දර්ශනය නරඹමින් සිටි සෙනඟ අතරේ ය."

මායා යථාර්ථවාදයේ ස්වභාවය වන්නේ මෙයයි.

තවත් අවස්ථාවක සඳහන් වන්නේ උඩින් පියාසර කිරීමේ පුවතකි. සාමාන්‍ය ලෝකයේ පියාසර කළ හැක්කේ පක්ෂීන්ට පමණි. රහතන් වහන්සේලා වැනි සෘද්ධි ලැබූවන් පියාසර කරන කතා පුවත් අසා තිබුණද සාමාන්‍ය මිනිසෙකු පියාසර කරන අවස්ථා කිසිසේත් ම සැබෑ ලෝකයේ දක්නට නොලැබේ.

"පරිස්සමට සඟවා තබාගත් අන්තිම රන්කාසි ඩැහැගත් මිනිස්සු ගමේ ගෙවල්වලට උඩින් වේගයෙන් පියාසර කිරීමේ වරම ලබා ගැනීමට උත්සුක වූහ"

සියක් වසක හුදෙකලාව නැමැති මෙම කෘතියේ විචාරකයන් පෙන්වා දෙනු ලැබූ මායා යථාර්ථවාදී රීතිය වන්නේ මෙයයි. සැබෑ ලෝකයෙන් ව්‍යුක්ත සුරංගනා කතාවල පවතින මේ ආකාරයේ සිද්ධි යොදා ගනිමින් වෙනස් ම ආකාරයේ සන්දර්භයක් ඉදිරිපත් කිරීම කතුවරයාගේ අපේක්ෂාව වී ඇත. නමුත් ඔහුගේ කෘතිය දෙස මතුපිටින් බලන අයෙකුට ඒවා කිසිසේත් ම හැබැහින් දැක ගැනීමට නොහැකි සිදුවීම් ය.

 මායා යථාර්ථවාදය ඉස්මතු වන තවත් අවස්ථාවක් මෙසේ දැක්විය හැකි ය.

"එම කාලයේදී විනෝද විනෝදකාමී අසභ්‍ය වචන කියන හැඟීම් පොළඹවන සුලු ගැහැනියක් ගෙදරදොර කටයුතුවලට උදව් වීමට එම ගෙදරට ආවාය. ඇය කඩදාසි කුට්ටමේ කොළවලින් අනාගතය කියන සැටි දැන සිටියාය. උර්සුලා තම පුත්‍රයා ගැන ඇයට කීවාය. ඔහුගේ ඔහුගේ ලිඟුවේ අසාමාන්‍ය විශාලත්වය ඇයගේ ඥාති සොහොයුරාගේ වලිගය වැනි වූ අස්වාභාවික දෙයක් යැයි ඇය සිතුවා ය "

මෙම නිදසුන මඟින් ද පැහැදිලි කරනුයේ මායා යථාර්ථවාදී රීතියේ ස්වභාවයයි. සාමාන්‍ය ස්ත්‍රියකට කාඩ් පතක් බැලීමෙන් අනාගතයේ පැවසීම සිදු කළ හැකිද යන්න ගැටලුවකි. කෘතියේ මායා යථාර්ථවාදය ඉස්මතු වෙන විශේෂ අවස්ථාවක් ලෙස පුත්‍රයාගේ ලිංගුවේ ඌරු වලිගයක ස්වභාවය පැවතීම දැක්විය හැකිය.සාමාන්‍ය මනුෂ්‍යයකුට ඌරු වලිගයක් පිහිටීම කිසිසේත් ම සිදුවිය නොහැකි දෙයකි .

ගාර්ෂියා මාර්කේස්ගේ සෑම නවකතාවක් ම විසිවන සියවස ආරම්භයේ සිට ලතින් ඇමරිකාවේ ඇති ගැටුම් ඉස්මතු කරයි. ඔහුගේ බොහෝ නවකතාවල ආදරය, බලය සහ මිනිසුන්ට තමාව ම පරිවර්තනය කර ගැනීමේ හැකියාව ගැන පවසයි.ඔහුගේ නවකතා ආශ්චර්යමත් හා විස්මිත සිදුවීම් සහ චරිත වලින් පිරී තිබුණු අතර සැබෑ ජීවිතයේ සැබෑ තත්වයන් තුළ අභිරහස සහ මනංකල්පිත අංග ඇතුළත් කලේය. සියවස් ගණනාවක යටත් විජිතවාදය, සිවිල් යුද්ධය සහ දේශපාලන ව්‍යාකූලත්වය ඔහුගේ කෘති වලට අමුද්‍රව්‍ය විය. තවමත් නොවිසඳී ඇති මහාද්වීපයේ අතිශය ඛේදනීය අස්ථාවරත්වය සහ අමානුෂිකත්වය ඔහු හෙළි කරයි.

      මාර්කේස්ගේ අභාවයෙන් පසු, කොලොම්බියාවේ ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටොස් ඔහු හැඳින්වූයේ “මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම කොලොම්බියානු ජාතිකයා‘ ලෙසය.

         මාර්කේස් ලොව පුරා ලේඛකයින් විශාල පිරිසකට ඉමහත් බලපෑමක් ඇති කළේය. ගාර්ෂියා මාර්කේස් තමන්ට ආඛ්‍යාන නිදහසට මග පෙන්වූ බව ප්‍රංශ ලේඛක එරික් ඔර්සෙනා පවසයි. ඉන්දියානු ලේඛක සල්මාන් රුෂ්ඩි, මාර්කේස්ගේ ලේඛන ශෛලියෙන් ආභාෂය ලැබූ අතර එය ඔහුගේ නවකතා බොහොමයක භාවිතා කර ඇත. 2012 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් චීන ලේඛක මෝ යාන් ගේ නවකතා වලට ගාර්ෂියා මාර්කේස්ගේ බලපෑම නිරීක්ෂණය කර තිබේ. ගාර්ෂියා මාර්කේස්ගේ බලපෑම ඉරාන දේශපාලනය කෙරෙහි පවා සලකුණු තබා තිබේ. මේ අනුව ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයට වඩා බොහෝ දුරට විහිදෙන උරුමයක් ලබාගත්තේය.

Monday, July 19, 2021

_ ජාතක කතා පොත් වහන්සේ_ (චන්ද කින්නර ජාතකය ඇසුරෙන්)

 


ග්‍රන්ථ නාමය

Ø ග්‍රන්ථ නාමය පිළිබඳ ව අවධානය යොමු කිරීමට ප්‍රථම ජාතකය ජාතක කතා යනු මොනවාදැයි විමසා බැලිය යුතුය.

 ජාතක යන වචනයෙහි උපන්, හටගත්, උපත, ඉපදීම යන සාමාන්‍ය අර්ථය වෙයි. වෙනත් අයුරකින් දක්වන්නේ නම් එහි පූර්ව ආත්ම භාවයන්හි බෝධිසත්ව චරිතය යන විශේෂ අර්ථයක්  වෙයි. විනය ටීකාවෙහි විස්තර කියැවෙනුයේ,

          ජාතං භූතං පුරා වුත්තං භගවතෝ - පුබ්බචරිතං

 චායාති කථේති පකාසේතීති ජාතකං යනුවෙනි.

එයට අනුව ජාතක යනු භාග්‍යවතුන් වහන්සේගේ උපත සිදු වූ පෙර පුවත්, පෙර සිරිත් වටහා දෙන්නේ කියන්නේ නැතිනම් ප්‍රකාශ කරන්නේ ජාතක කතාව වේ යනුවෙනි.

මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා ජාතක යන්න ඉතා සරල මෙසේ දක්වා ඇත.

ජාතක වනාහි අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබූ තැන් පටන් වෙස්සන්තර ආත්ම භාවය තෙක්ම උන්වහන්සේගේ පෙර සිරිත් කියන්නා වූ කතා රැසකි. එනම් උන්වහන්සේගේ පෙරුම්දම් පුරන කල්හි බෝසතුන් ලෙස ගෙවූ පෙර ආත්ම භවයේ වස්තු කොට ගෙන සැකසුණු කතාය.”මෙම කොටසින් ජාතක යනු කුමක් ද යන්න පැහැදිලි . 

කර්තෘ හා කාලය

Ø පාලියෙන් පැවති එකී ජාතකට්ඨකතාව සිංහලයට පෙරළන ලද්දේ කුරුණෑගල යුගයේ දී සිව්වන පැරකුම්බා රජු දවසේ දී ය.

Ø ජාතක කතා පොතට අනුව පරාක්‍රම නම් ඇමතිවරයෙකු මේ සඳහා ආරාධනා කොට ඇති අතර වීරසිංහ ප්‍රතිරාජ නම් අමාත්‍යවරයෙකු වෙහෙසී කටයුතු කර ඇත.

Ø කෙසේ වුවත් උගතුන්ගේ පිළිගැනීම අනුව ජාතක කතා සිංහලයට පරිවර්තනය කිරීම කර්තෘ මණ්ඩලයක් විසින් කරන ලද්දකි. ඒ නිසා මෙය බහු කර්තෘ කෘතියක් වෙයි.

Ø මෙය පරිවර්තනය කිරීමේ කාර්යය කුරුණෑගල යුගයේ රාජ්‍යය විචාළ සිව්වන පැරකුම්බාවන්ගේ සමයේ දී ආරම්භ වූ අතර සෑහෙන කාලයක් පුරාවට සිදු වූවා යැයි සැලකේ.

 

ජාතක කතාවන්හි ආරම්භය

 බොහෝ උගතුන්ගේ අදහස් අනුව ඇතැම් ජාතක කතා බුද්ධ කාලයට පූර්වතර වෙයි.

මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා ඒ පිළිබඳ ව මෙසේ සඳහන් කරයි.

ජාතක කථාවන් ගේ ඇතිවීම පැවතීම ගැන පිරියෙසුම් කරන උගතුන්ගේ අදහස නම් ඇතැම් කථා පුවත් බුද්ධ කාලයටත් වඩා පැරණි බවයි. බුද්ධ කාලයට පෙර භාරතීය ජනයා අතර පැවති කතන්දර පසුව ජාතක කතා ලෙසින් සකස් වුණු බව ද කියති. ඒ කතා බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ අවස්ථාවලදී තතු පැහැදිලි කිරීම සඳහා, කරුණු වඩාත් එළිපෙහෙළි කිරීම සඳහා, උපමා කතා උදාහරණ තමන් වහන්සේ පෙරටු කොටගත් අදහස් සපුරා ගනු පිණිස යොදා ගත්හ. එසේ කිරීමේදී එය බෞද්ධ මුහුණුවරක් ගත්තේ ය යනුවෙනි. 

Ø බුද්ධ භාෂිත වූ ජාතක දේශනා මිහිඳු හිමියන් විසින් ලංකාවට ගෙනෙන ලදුව උන්වහන්සේ විසින් ම උගත් තෙරවරුන් ලවා එය සිංහලයට පරිවර්තනය කොට තබන ලදැයි දැක්වෙයි.

Ø හෙළු බසින් පැවති කතා ඇතුළත් වූ ජාතක අටුවාව ඉවහල් කොට ගෙන බුද්ධඝෝෂ හිමි හෝ වෙන අර්ථකථාර්ය අයකු හෝ පාලි භාෂාවෙන් ජාතකට්ඨකථාව සම්පාදනය කොට ඇත.

Ø පුරාණ සිංහල ජාතක කතා පාලියට පෙරළන ලද්දේ බුද්ධඝෝෂ හිමියන් විසිනි. නමුත් බුද්ධඝෝෂ හිමියන් ජාතකට්ඨකථා නිපද වූ බවක් සමහරුන් පළ කරත් ඇත්ත වශයෙන් උන්වහන්සේ කළේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ කොටගත් සිංහල භික්ෂූන් විසින් සිංහලයට නගන ලද ජාතක කතා නැවත පාලියට පෙරලීම පමණකි යනුවෙන් නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන් සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය කෘතියේ දක්වයි.

Ø පාලි ජාතක පොත උගත්තේ භික්ෂූන් වහන්සේ හා පාලිය උගත් ගිහියන් විසින් පමණකි. සාමාන්‍ය ැමියන් මේ කතා අසා දැනගත් දැන ගන්නා ලද්දේ භික්ෂූන් වහන්සේගෙනි. මෙය හිරිහැරයක් කොට සැලකූ මෑතක විසූ කිහිපදෙනකු එක්ව මුළු ජාතක පොත ම සිංහලට පෙරළා සිංහල ජාතක පොත නිපදවූ යැයි නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන්ගේ කෘතියේ තවදුරටත් සඳහන් වේ.


ජාතක පොතේ වැදගත්කම

 සිංහල සාහිත්‍යයේ අපට හමුවන විශාලතම ග්‍රන්ථය පන්සිය පනස් ජාතක පොතයි.

  බුදුන් වහන්සේ, රහතන් වහන්සේ, බෝධීන් වහන්සේ යන නාමය පන්සිය පනස් ජාතක පොත් වහන්සේ යනුවෙන් මෙම ග්‍රන්ථයට එකතු කර ඇත්තේ එයට මහත් ගෞරවයක් දක්වන නිසා .

  සිංහල සාහිත්‍යයේ අපට හමුවන විශිෂ්ඨතම උපදේශ කතා ග්‍රන්ථය පන්සිය පනස් ජාතක පොතයි.ඊසෝජහ්ගේ ගේ උපමා කතා, අරාබි නිසොල්ලාසය, පංචතන්ත්‍රය වැනි පොත්වලට නොදෙවෙනි   පිළිගැනීමක් ජාතක පොතට ද ලැබී ඇත.

  ජාතක කතා තුතා තුළින් ලබා දෙන උපදේශ සදාතනික අගයකින් යුක්තය.

  පන්සිය පනස් ජාතක පොත උපමා කතා, අද්භූත කතා, විනෝදාත්මක කතා, මිථ්‍යා කතා ආදී වශයෙන් විවිධ කතාවන්ගේ එකතුවකි.

 වෙස්සන්තර, කාලකන්නි, මහෝෂධ, පිංගුත්තර, පබාවතී, ගුත්තිල, මූසිල, කච්චපුට, පෝරිසාද වැනි ජාතක පොතේ චරිත නූතන ජන වහරෙහි භාවිතා වීමෙන් ජාතක පොත ජනතාවට කොතරම් සමීප යන වග තහවුරු වෙයි.

Ø සංස්කෘත සාහිත්‍යය පුළුල් කිරීමෙහිලා මහා භාරතය, රාමායණය වැනි වීරකාව්‍යවලින් සුවිශේෂ වූ සේවාවක් ඉටු වූවා සේම සිංහල සාහිත්‍යයේ පුළුල් කිරීමෙහිලා ජාතක කතාවලින් ලැබී ඇත්තේ අමිල සේවාවකි.

Ø නූතන නවකතා, කෙටිකතා ආදියෙහි චරිත නිරූපණය කර ඇති ආකාරයට තරමක් හෝ සමීපවන පරිදි චරිත නිරූපණය කර ඇත්තේ ජාතක කතාකරුවා බව විචාරකයන්ගේ මතයයි.”

                                                        - මාර්ටින් වික්‍රමසිංහ බණ කතා සාහිත්‍ය -

 ඓතිහාසික තොරතුරු අතින් ජාතක කතාවල ඇති වටිනාකම අමතක කළ නොහැක. පැරණි ඉන්දියාවේ ජන සමාජය, ආණ්ඩු ක්‍රමය, කර්මාන්ත දියුණුව, ශාස්ත්‍ර දියුණුව, සමාජ සිරිත් විරිත් යන සෑම අංගයක්ම මේ කතා තුළින් හෙළි වේ.

 පසුකාලීන ව නාට්‍ය, සිනමා නිර්මාණ, කෙටි කතා, නවකතා ආදියට ජාතක කතාවෙන් ලැබුණු පන්නරය ඉතා උසස් ය.

-         විල්ගම්මුල හාමුදුරුවෝ  සඳ කිඳුරු දා කව කළේය.

             - කෝලම් නාටකකරුවෝ සිය කෝලම් රංගන අවසානයේ සඳ කිඳුරු කථාව රඟ දැක්වූහ.   

     - සරච්චන්ද්‍රයන්ගේ මනමේ රංග ගතවීමෙන් පැරැණි දේශීය නාටක ප්‍රතිනිර්මාණය වන්නට වූ විට ගුණසේන ගලප්පත්ති සඳ කිඳුරු නූතන වේදිකාවට ගෙන ආවේ ය.

- අශෝක හඳගම සිය ප්‍රථම සිනමා නිර්මාණය නම් කළේ ද “චන්ද කින්නරී” නමිනි.

- නිශ්ශංක විජේමාන්න “චන්ද්‍ර කින්නරාවී” නමින් කෙටිකතාවක් ලීවේ ය.

 

ප්‍රමාණය

 පන්සිය පනස් ජාතක පොත යනුවෙන් ව්‍යවහාර කරත් මෙහි ප්‍රමාණය පිළිබඳ ව ගැටලු තිබේ. දැනට මුද්‍රිත ව පවතින කිසිදු ජාතක කථා පොතක ජාතක 550ක් නැත. පාලි ජාතකට්ඨ කතාවේ ඇත්තේ ආසන්න ලෙස ගැනීමක් බව විද්වත් මතය වෙයි. ව්‍යවහාරයේ පහසුව සඳහා පන්සිය පනස් ජාතක පොත වශයෙන් සැලකුව ද සැබවින් ම එහි පවතින්නේ ජාතක කතා 547ක් පමණි.


ජාතක කතාවේ ආකෘතිය

 පාලි ජාතක කථාවන්හි සන්දර්භය කොටස් 5 කින් යුක්තය.

1.    වර්තමාන කතාව

2.    අතීත කතාව

3.     ගාථා

4.    වෙය්‍යාකරණ

5.    සමෝදාන කතාව

 වර්තමාන කතාව - අතීත කථාව දේශනා කිරීමට හේතු වූ හේතු වූ සිදුවීමයි. බුදුන් වර්තමාන සමයේ සිදුවූ කතා කථා පුවතය.

අතීත කතාව - ජාතිකය යන නමින් හඳුන්වන කොටස හෙවත් බෝසතුන්ගේ අතීත සිරිතය

ගාථා -  උපදේශයක් වශයෙන් හෝ කතාව වශයෙන් හෝ දක්වා ඇති ගාථා කොටස් ය.

වෙය්‍යාකරණ - ගාථාව විස්තර කොට ඇති කොටස ය.

සමෝදානය - අතීත කතාවේ ආ චරිත වර්තමාන කතාවේ චරිත සමඟ ගළපන කොටස් ය.

 Ø  සිංහල ජාතක පොතෙහි ඇත්තේ ඉහත කොටස් වලින් තුනක් පමණකි.

1. වර්තමාන කතාව

2.     අතීත කතාව

3.    සමෝදානය

 ගාථා කොටස ඇතැම් ජාතක කතාවක දැකිය හැකි ය. එහෙත් එය පොදු ලක්ෂණයක් ලෙස සැලකිය නොහැකි ය. වෙය්‍යාකරණ කොටස් ජාතක පෙරළට ම එකතු වී ඇත. තව ද උගත්තු නොයෙක් ආකාරයෙන් ජාතක කතා වර්ගීකරණය කරති. ජාතක කථාවන්හි ප්‍රමාණය සලකන කල්හි දීර්ඝ, මධ්‍යම, අල්ප ලෙස හමුවේ.

ඇතැම් ජාතක කතා තුළ තවත් කුඩා කතා ද දක්නට ලැබේ.

 

ජාතක පොතේ විශේෂතා

1)ජාතක කතා පොතේ එන විශේෂ සාහිත්‍යමය ලක්ෂණ වන්නේ එය උගතාටත් නූගතාටත් එක සේ රසවිඳීමට හැකියාවක් තිබීමයි. ජාතක පොත රසවිඳීමට විශේෂ දැනුම් සම්භාරයක් අවශ්‍ය නොවේ. අමාවතුර, බුත්සරණ යන ග්‍රන්ථවල පාඨක පිරිස එක් පක්ෂයක් වටා කේන්ද්‍රගත වුව ද ජාතක පොතෙහි පාඨක පිරිස මේ ද්විත්ව පිරිස වීම විශේෂ ලක්ෂණයකි. සරල ව්‍යවහාර බස ජාතක පොතේ දී භාවිතයට ගෙන ඇත.

 අමාවතුර, බුත්සරණ සද්ධර්මරත්නාවලිය වැනි ග්‍රන්ථවල ආ භාෂාවට වඩා මෙහි භාෂාව අතිශයින් ම මහජනයාට සමීප ය.

 මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියේ මෙසේ දක්වා ඇත.

ගුරුළුගෝමීහුගේ කාලයෙහි ග්‍රන්ථාරූඪ වූයේ පණ්ඩිතයන් අතින් ම සකස්වුණු පණ්ඩිත ප්‍රිය භාෂාවකි. ජාතක පොත සිංහලයට නගන කාලයෙහි ග්‍රන්ථාරූඪ වූයේ ඒ ග්‍රන්ථ භාෂාවෙහිත් පොදු ජනයාගේ භාෂාවෙහිත් සංකලනයෙන් නිපන් ජනප්‍රිය භාෂාවකි. මේ භාෂා විපර්යාසයට වඩා තුඩු දෙන ලද්දේ සමාජ විපර්යාසය විසිනි.චන්ද කින්නර ජාතකේ මෙම ලක්ෂණය සනාථ කෙරෙන උදාහරණයක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

                   එදවසට බිසවුන් ප්‍රධාන කොට සතළිස් දහසක් නාටකාංගනාවෝ වෙසෙති. ඒ සතළිස් දහසක් නාටක ස්ත්‍රීන් හුදු උභය පාරිශුද්ධ කෂත්‍රිය කන්‍යාවෝ ම එක් දහස් අනූවක් දෙනය. බිම්බා දේවිය ද බුදුන් තමන්ගේ භවනයට වඩිනා නියාව අසා ක්ෂත්‍රීය කන්‍යාවන් හැමදෙනම කසාය වස්ත්‍ර ගෙන හැඳ පොරවා අව මැනවැ යි විධාන කළහ......යන නිදසුනෙන් පෙනී යන්නේ ජාතක කතා ජාතකකතාකරු තම රචනයේදී සරල ව්‍යවහාර බස භාවිත කොට ඇති ආකාරයයි.

 

2) දේශිය මාර්ගය හෙවත් දේශීය රීතිය අනුගමනය කිරීම

·       මෙම ලක්ෂණය මාර්ටින් වික්‍රමසිංහ මහතා එතුමාගේ සිංහල සාහිත්‍ය නැගීම නම් කෘතියේ මෙසේ දක්වා ඇත.

ජීවන ප්‍රවෘත්ති වස්තු කොට ගෙන කාව්‍ය සම්පාදනයට සිතන උගතුන් ජාතක පොතෙහි භාෂා රීතිය ගුරු කොට ගත යුතුය. සංස්කෘත ගද්‍යටත් එහි අනම්‍ය රීතියටත් වහල් නොවී ජාතක පොතෙහි දක්නට ලැබෙන දේශීය මාර්ගය හෙවත් දේශීය රීතිය අපගේ වඩාත් පැරණි පඬුවන් විසින් නිපදවන ලද නම් සිංහල ගද්‍ය ශ්‍රේෂ්ඨ ස්ථානයක් ගන්නේය.

 ජාතක පොතෙහි වස්තු වස්තු විෂය වෙනුවෙන් ජනකායගේ ජීවන ප්‍රවෘත්ති ඔවුන්ගේ සිතුම් පැතුම් හා ඔවුන් විදි දුක් පීඩා සොම්නස් දොම්නස් යන ආදිය දැක්වේ.


3) නාට‍යෝචි බස් වහර බොහෝ අවස්ථාවල භාවිතා කර ඇත.

·       ජාතක පොතේ භාවිතා කර ඇති සංවාද නාට්‍ය ස්වරූපයක් ගෙන ඇත. විශේෂයෙන්ම ශ්‍රාවකයා ඉදිරියෙහි සිදුවීම් චිත්‍රණය වන ආකාරයට මෙහි බස හසුරුවා ඇත.

එතකුදු වුවත් මහ බෝසත්හු මෙ විසඥව වැදහොත් නියාව දැක ඇය මාගේ ස්වාමි පුරුෂයාණන් මී නියා වූ මාගේ නැටුම් නොබලා වැදහෝනට කවර දුකෙක් උපන්දැයි පරීක්ෂා කොට බලන්නාහු ප්‍රභාර මුඛයෙන් වෑහෙන්නා වූ ලේ දැක මා ප්‍රිය වූ ස්වාමි පුත්‍රයා කෙරෙහි ශෝකය දරාගත නොහී අක්‍රෝශ බෙණෙමින් මහ හඬින් හඬන්නට වන්හ.....

 ජාතක කතාකරුවා අවස්ථානෝචිත, චරිතයට උචිත බසක් යොදා ගැනුණි.

 මේ බව දැක්වීමට මනා නිදසුනක් චන්ද කින්නර ජාතකයේ උපයුක්ත බස ගෙනහැර දැක්විය හැකිය.

අනේ මා දිවගෙන ගොස් පර්වත මුදුනක ලා මේ සා දුක්ඛයක් නිපදවන ලද පාපිෂ්ට වූ තා වැනි ද්‍රෝහී මාගේ ස්වාමි පුත්‍රයාණන් මා උදෙසා මැරීනම් මාගේ ස්වාමි පුත්‍රයාට පැමිණි මරණ දුක්ඛය තටද වේවායි මට පැමිණී මේ ශෝකය තගේ අඹුදරුවන්ට ද වේවයි තවද දුෂ්ට වූ මහරජ තාගේ ප්‍රජාපති නොම තා ද තම දරුවන් ද නොදැක නිරා වදිව යි ඇවිලී අව අවා අඩන්නට පටන් ගත්හ.”

මෙහිදී ජාතක කතාකරුවා එම අවස්ථාව සජීවී අන්දමින් වාක්‍ය කිහිපයකින් දැක්වීමට සමත් වන්නා සේම කිඳුරියගේ ශාපය අපේ ගැමි කාන්තාවන් තම ස්වාමියා මරණයට පත් කළ අයෙකුට සාප කරන ආකාරය සිහි ගන්වමිනි.


4) බොහෝ පාලි උපමා සිංහලයට පෙරළීමේ දී අනුගමනය කරන ලද සිංහල කව් බසින් ඒ ඒ අවස්ථාව සමලංකෘත කොට ඉදිරිපත් කිරීම.

·       උපමා රූපක ගෙන හැර පෑමේ දී ජාතක කතාකරුවාගේ රුචිය කතාව රසවත් කිරීමෙහිද චරිත ගැඹුරු කිරීමෙහිද අවස්ථා නිරූපණයෙහි ප්රබල සිටි බව සඳහන් කළ යුත්තකි.

චන්දකින්නර ජාතකයේ ඇතුළත් පහත නිදසුනෙන් මේ සඳහා හොඳම නිදසුන යැයි සිතමි.

කකියා ගිය තලතෙලක ලු තන සෙයින්ද මුලින් සිඳ ලූ ගසක් සෙයින් ද නියං සමයෙහි පැන් සිඳී වියලී ගිය මළ හෝ කඳුරක් සෙයින් ද ජීවිත විනාශයට පැමිණෙන සේ බලව. පර්වතයහී වසන ලදුව ක්ෂණ ක්ෂණයෙහි වෑහෙන්නා වූ වර්ෂා ජල ධාරාවක් සෙයින්ද කඳුළු වෑහෙන්නට පටන් ගත්තේය

 

5) තත්භව වචන පවා අතහැර කටබස් වහරෙහි වචන යොදා යොදාගෙන තිබීම.

 භාෂාවේ ප්‍රසාද ගුණය වැඩි කිරීමට වචන සමත් වේ. චන්ද කින්නර ජාතකයේ එන ලෙස දෑල, යෙහෙළි, බිම වැද හොති, ගිම් සාරමස, හොය වකෙක, ඇවිලි ආවා අවා යන ඒවා දැක්විය හැකිය.

 

6) දිගුවැකි භාවිතය

දිගුවකි භාවිත වන අවස්ථාවක් ලෙස,

ඒ කිඳුරංගනා තොම රජහු නිරපේක්ෂ ව පලා ගිය නියාව දැන පර්වතයෙන් බැස මහ බෝසත්හු සිප ගෙන ඔසවා පර්වත මුදුනේ ලා බෝධිසත්වයන්ගේ ඉස තමාගේ ඇකයෙහි තබා ගෙන අඬන්නී මාගේ ප්‍රිය වූ ස්වාමි පුත්‍රයාණෙනි, පෙර නුඹ හා මා මහා පර්වත ගුහා ආදියෙහි සිත් සේ ඔවුනොවුන් හා සනහමින් කෙළ ඇවිද දැන් නුඹ කෙරෙන් වියෝ වූ මම කුමක් කියා ළය සනහම් ද තවද හිමියනි, පුෂ්ප ඵල පල්ලවයෙන් අලංකෘත වූ වන ලැහැබුන් හා පෙර අප හැම කෙළ ඇවිද සමන් ලිය මඩුලු හා බලන්නෙමි තොප නො දැක අපි කෙසේ නම් ඉවසිය හෙම්ද.............

 

7) කෙටි වැකි භාවිතය

චන්ද කින්නර ජාතකයේ මෙම ලක්ෂණය පෙන්වන අවස්ථාවක් ලෙස,

 මේ සෝක දුක් දුක මාගේ ම ජීවිතය අපේක්ෂාවෙන් නොවේ.”

එබැවින් මමතිගේ ක්‍රීඩා විනෝදය එහි නොයමි.”

කතාවක නාට්‍යෝචිත බව හා නිරවුල්ව ගලායාමේ ස්වභාවය ඇති කිරීමෙහිලා කෙටි වැකිවලින් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ජාතක කතාකරුවා අවස්ථානෝචිත ලෙස මේ කෙටි වැකි භාවිත කර ඇත.


8) චරිත නිරූපණය

·       සාහිත්‍ය කෘතියක් සාර්ථක කෘතියක් වීමෙහි ලා හොඳ චරිත නිරූපණයක් තිබීම අනිවාර්යය වේ. ජාතක පොතේ දී ඒ ඒ පුද්ගලයන්ගේ චරිත ඉතා දක්ෂ ලෙස නිරූපණය කර ඇත.

කිමෙක් දෝ හෝ මෙලෝ රක්නාහු ලෝකපාල දෙවියෝ නැත් ම දෝ හෝ නැත. අනෙක් සක්වල දෙවියෝ වෙසෙත් දෝ නොහොත් මළාහූ දෝ හෝ යී හඩා නැවත ඉදින් දෙවි කෙනෙක් මෙළොව ඇත්නම් මහිමි හට මේ පැමිණි දුක නොබලා හරිද් දැයි දෙවියන්ට උජ්ඣායනා කොට හැඬූහ.

සර්වකාලීන මනුෂ් චින්තනය ,මනුෂ් ගති පැවතුම් මනාව නිරූපණය කරන ජාතක කතා පොතේ කවර අන්දමේ චරිතයක් වුවද සොයාගත හැකියි. මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ  කථා චරිත හඳුන්වනු ලබන්නේ චරිත විවිධ දුටුවන්ගේ කතා නමිනි.

 "සාමාන්‍යයෙන් සුචරිතය හුවාදැක්වීම දුෂ්චරිතයට නිගා කිරීමක් දක්නට ලැබෙන නමුත් ජාතක චරිත ප්‍රායෝගික ජීවිත හා බැඳුණු ඒවා වේ. දුෂ්ටකම් හා කුහකකම් පමණක් නොව ඇතැම්විට ගුණද විදහා දැක්වීම සදහා ජාතක කතාවලට වස්තු විෂය වනුයේ පොදු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ තොරතුරුය." යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසයි.

තමාගේ ස්වාමියා වියෝ වී අසරණ තත්ත්වයකට පත් වූ ස්ත්‍රියක ගේ චරිත ස්වභාවය මනාව නිරූපණය කර ඇත.

 

9) අවස්ථා නිරූපණය

 කතුවරයා චිත්‍ර ශිල්පියකු මෙන් පාඨක සිත චිත්‍රණය කළ යුතුය. චන්ද කින්නර ජාතකය එවැනි අවස්ථා නිරූපණය මතුවන අවස්ථාවක් මෙසේ දැක්විය හැකිය.

අනේ මා දිවගෙන ගොස් පර්වත මුදුනක ලා මේ සා දුක්ඛයක් නිපදවන ලද පාපිෂ්ට වූ තා වැනි ද්‍රෝහී මාගේ ස්වාමි පුත්‍රයාණන් මා උදෙසා මැරීනම් මාගේ ස්වාමි පුත්‍රයාට පැමිණි මරණ දුක්ඛය තටද වේවායි මට පැමිණී මේ ශෝකය තගේ අඹුදරුවන්ට ද වේවයි තවද දුෂ්ට වූ මහරජ තාගේ ප්‍රජාපති නොම තා ද තම දරුවන් ද නොදැක නිරා වදිව යි ඇවිලී අව අවා අඩන්නට පටන් ගත්හ.”

 

10)බෝධිසත්ව හා දේවදත්ත චරිතය මනාව විද්‍යාමාන කරයි.

චන්ද කින්නර ජාතකය තුළ සඳකිඳුරා බෝධිසත්වයන් ලෙස ද ඇත. බරණැස් රජ්ජුරුවෝ දේවදත්ත ලෙස ද හඳුන්වා දිය හැකිය. ජාතක කතා තුළ දුශ්චරිතය මනා ව පැහැදිලි ව වෙන් කොට දක්වා තිබේ. ජාතික වස්තූන් අතර බහුල ජීවිතයේ සුබ පක්ෂය වඩා අසුබ පක්ෂය දැක්වෙන කථා වස්තුය. මනුෂ්‍ය ජීවිතයෙහි ලෝකයෙහි තතු ඇති සැටියෙන් ම නිරූපණය කිරීම මුඛ්‍ය අදහස කොටගෙන පහළ කරන නො දැ යි කිව යුතු කතා නවීන බටහිර උසස් නවකතාකාරයන්ගේ කතා වලට ද වස්තු විෂයට හොඳටම සමානය.


11)චිත්ත රූප මැවීම ජාතකකතාකරුවා සජීවී පැවැති නාට්‍යමය ගුණය ද මුසු කරමින් චිත්තරූප පාඨකයාට දැනවීමට උත්සාහ කර ඇත.

බරණැස් රජ්ජුරුවෝ ඒ ගායනා ශබ්දය අසා පිස්සන් නොඇසෙන සේ සෙමෙන් සෙමෙන් අවුදින් ලියකිඳුරාණාන් උන් නියාව ද නටමින් සිට කිඳුරංගනාවන් දැක පිළිබඳ වූ සිත් ඇතිව මේ කිඳුරා විද දිවි තොර කොට මෑ හා සමග වාසය කෙළෙමි නම් යහපතැයි සිතා සැඟවී සිට කිඳුරාට හීයක් විද්දේය. ඒ ශර ප්‍රහාරයෙන් වෑහෙන්නා ලේ දියෙන් මහත් වේදනාවෙන් මඩිනා ලදුව හඩන්නේය. ..

සිංහල පන්සිය පනස් ජාතක පොත පිළිබඳ ව විද්වතුන්ගේ මත මෙසේ ඉදිරිපත් කිරීම තුළින් ජාතක කතාවේ විශේෂතා පිළිබඳ තව තවත් අවබෝධයක් ලබාගත හැකිය.

 සරල කථන ශෛලියකින් ලියැවී ඇති නමුදු සාමාන්‍ය ජනයාට ප්‍රිය වු බාහුල්‍යය ජාතක කථාවල ද දක්නට ලැබෙන ලක්ෂණයකි. අමාවතුරෙහි කෙටි පැහැදිලි ප්‍රකාශන විස්තරයට ද බුත්සරණෙහි සාටෝපවත් රීතීයට  ද මෙය බෙහෙවින් වෙනස් වේ. (සුනන්ද මහේන්ද්‍ර - ජාතක කතා සම්ප්‍රදාය

දහම් දෙසන භික්ෂූන් වහන්සේගෙන් හැර අනෙක් උගතුන්ගෙන් මෙකල වැඩි සැලකිල්ලක් නො ලබන සිංහල ජාතක කතා සිංහල සාහිත්‍යයෙහි ශ්‍රේෂ්ඨ ගද්‍යයයි. දේශජ භාෂා රීතිය, අලංකාර නැමැති නිසරු බමුණු වදනින් දූෂණය නොකරන ලද කථා වස්තු පරණ වීමෙන් කිසිකලෙක අභාවයට නොයන මනාව චරිතාංග යන මෙතෙක් තැනක් ගන්නා ජාතක පොත.......(මාර්ටින් වික්‍රමසිංහ - ජාතක කතා විමසුම)

උපහාසය, උපදේශය, චරිත නිරූපණය, ජීවිත විවරණය, චිත්ත චෛතසික විග්‍රහය ආදී විවිධ පරමාර්ථයෙන් අනූන රචිත කතා වස්තු පන්සිය පනස් ජාතක පොතෙහි ඇත්තේ ය. මේ හැම අංශයකටම අයත් උසස් කලාත්මක ලක්ෂණ ප්‍රකට කෙරෙන කතා බොහෝමයකි. එමෙන් ම කලාත්මක බවින් තොර ඉතා දුබල තත්ත්වයේ ජාතක කතා ද ඇත්තේය. (හොරණ වජිරඤාණ හිමි - සිංහල තමා සංග්‍රහය)

 

  ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා  පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...