Showing posts with label _කාව්‍ය_. Show all posts
Showing posts with label _කාව්‍ය_. Show all posts

Saturday, August 7, 2021

 


රස නැතිය මේ බත් 
මට වැඩිය මේ කොටස
බැරිය මට කන්නට
විසි කරයි නැත ලෝබ
තව තැනක ඒ අතරෙ 
අයදිමින් බත් කටක්   
සිටී දරුවන් ලොවේ 
සාගින්න උහුලමින්.. 


_නූතන අධ්‍යාපනය_


 ගෙදර නැත කන්නට 

එක හාල් ඇටයක්

පුතුට පමණක් පිසේ

එකම එක බත් කටක්

වහලේ ටකරං සිදුරු අතරින්

වැටෙයි මහ වැහි බිංදු

තුන් මසක පඩිය එක්කොට

ඉල්ලා තව මසක් ණයට 

ගෙනත් දුනි ලොකු ටෙලිෆෝනයක්

පුතුට අකුරු කරවන්නට


_තේ දළු නෙලන්නෝ_


මොර සූරන වැස්සට ද

ගිනි ගහන අවුවට ද

පෙඟී දැවී  යන මිනිසුනේ

ඇඟිලි තුඩු පිපිරුව ද

ලේ පෙරී වැගිරුණ ද

සොච්චමක් ගුලි කරන්

සිනාසෙන මිනිසුනේ

නුබේ දහඩිය කඳුලු

සතයකට අලෙවි වන 

අතරමැදි වෙළඳුන්ට 

සැප මාළිඟා දෙන


_තාත්තා_


අහිමි වන   බව දැනත්

දිවා රෑ   වෙහෙසෙමින්

එකම පැතුමක්   දරන්

රැක බලන්  දෑස මෙන්

දන් දෙන්න දියණියක්

වෙන්නට මතු බුදුන්

විවරණ දුන් පියා

රහසේම පිස දමයි 

 වැටෙන උණු කඳූළු බිඳු

මතක් වන වාරයම


Friday, August 6, 2021

_වියෝ වූ සුරතලා_

මිතුරාය ඔබ මගේ

මේ පොළෝ තලය මත

අහම්බෙන් මුණ ගැසුණු

මිනිස් ගුණ ඉක්මවා

සැබෑ ආදරය දුන්

වචන කළ නොහැකි වූ

සෙනෙහසක් හිතට දී

මේ තරම් ඉක්මනින් 

හැර ගියේ කෙලෙසින් ද


_රෑ අහස_


ස‍ඳ කුමරු වට කරන්

පුංචි රන් තාරකා

සිනාසෙන අපූරුව

බබළමින් අහස් කුස

නිල් වර්ණ පොරවගෙන

වළාකුළු සඟවමින් 

රෑ අහස් තලය දෙස

බලා හිඳින අපූරුව


Friday, July 30, 2021

_පිපියන් තව මල්_








නුබට නැත පිපෙන්නට 

ඉඩක් ස්ථිර බිමක

කොතන පැල කෙරූව ද

පිපියන් සුදුම සුදුවට 

ලොව ම සුවඳ කරවන  

මල් කළඹක් ලෙසට 






පොරවගෙන හරිත පැහැ

වට කරන් සුළං පොදි

අල්ලමින් ඉඟි බිඟිය

ගුලිවෙමින් කිටි කිටියෙ

ආ විගස සුළං වැල්

වියළි කොළ කහ පැහැති

බිම දමා සියල්ල ම 

සිනාසෙන අපූරුව

රත් පැහැති අලුත් දළු 

සිනාවෙන් වැනෙද්දී

බිම වැටුණු වියළි කොළ 

දිරාපත්  වී හඬයි


_හිමවත් පෙම_


 කළිඟු කුමර නිමිති අනුව වනයට ගොස් සොවින් තැවී

මව්පිය දෙපළත් සමඟ ම මධු රජ දුව වන ගත         වී

කළිඟු කුමර දකින විටදී  මදු කුමරිය ගසකට          වී

කුමරුගෙ සිත ඇදී ගියා මෑ නම් දෙව්දුවක් ම          වී



Sunday, July 25, 2021

_කොරෝනා පෙරළිය_

 පටන් ගත් ටියුට් කියවා නිමක් නැත

නිමා වෙන තැනක් ළඟ පාතක ද නැත

තවත් දහස් වැඩ ගොන්නක් ලියා ඇත

කරන්නෙ කොහොම තනි මම පමණි වැඩ


දවස් හතම දේශන නම් නිමා නැත

අරක කොහෙද මේ කෝකද නිනව් නැත

බිත්ති හතරකට පමණක් මැදි ව ඇත

කොවිඩ් ඇවිත් කනපිට පෙරලුවා අප


යහළු යෙහෙළියන් උන්නද මළා නැත

සොයන්නට වෙලාවක් උන් හට ද නැත

තරහ නොවනු මිතුරනි සිත සිටී නුඹ

මතකද එදා නිම කළ හැටි මෙවන් වැඩ


Friday, July 23, 2021

_රබර් සෙරෙප්පු _

 

උස බූට් නැතුවාට 

හයියෙන් ඇවිදින්න

අප්පච්චි කැමතිම

මේ රබර් ජෝඩුවට

ගල් වැලි පෑගෙන්නෙ

රබර් ජෝඩුවට මිස

උස බූට් කොහෙන්ද

තාත්තට ඇවිදින්න 

ලස්සන ජෝඩුවක්

මට අරන් දුන්නාට 

කිව්වෙ ඔහු හැමදාම 

මං ආස මේකට 


Wednesday, July 21, 2021

_ආලය_

 


අහස් කුසට වැහි දිය බර    නැතුවාට

මිහිතලේට වැලි කැට බර   නැතුවාට 

පියුම් පෙතට බමරෙක් බර නැතුවාට

කියාපං නුඹට ආලය බර වීද?


Tuesday, July 20, 2021

_ පෙති හා කසාය_







වැටී ගල් වැටියකින් බිඳුණි මගෙ අත       අනේ 

ගියා පැය දෙක තුනෙන් රෝහලක් සොයමිනේ

එතන එස් ට්‍රේ ගන්න තව පැයක් ගත      වුණේ

බෙහෙත් තුන්ඩුවට මුළු සේසත ම වැය   වුණේ


දවස් තුන හතරකින් නැවත නිවසට          වුණේ 

දවසකට බෙහෙත් පෙති අහුරක් ම ගිල්     වුණේ

මාස දෙක   තුනකින් බිදුණු අත සුව           වුණේ

යළිත්   අවුරුද්දකින් වේදනා ඇති              වුණේ


යළි වරක් වැටී මගෙ දකුණු පය           ඇඹරුනේ

අත මිටත් හිඟ නිසා රෝහලට       නොගොසිනේ

ගියේ නොමිලේ දුන්න බෙහෙත් ගුලි සොයමිනේ

වෙද ගෙදර පාලු මම පමණක් ම තනි        වුණේ


කැඩුණු පය වටා කොළ පත්තුවක්          එතුණේ

තිත්ත මුසු කල්ක යුෂ බොන්නටත්         දුන්නේ

උදේ රෑ තෙල්වලින් කකුල පිරි             මැද්දුනේ

මාස  හය හතකින් සියල්ල ම               දුරුවුණේ


සත පහක කාසියක් නැතිය වියදම්            වුණේ

ගමේ ඇති ගස් කොළින් බෙහෙත් ගුලි   සෑදුණේ

සදහටම රිදුම් දෙන වේදනා                සුව වුණේ

ගමේ වෙද සීයාට පින් පමණි අත්              වුණේ


Monday, July 19, 2021

_ අම්මා _














අකුරු දෙක තුන අතින් අල්ලා අම්මා යැයි වචනයක්              ලිව්වා
පාසලේ පොත් අකුරු කරවා වාරෙකුත් හෙම නිමා             කෙරුවා
සරසවියකට ඇතුල් වීලා එහිත් සිව් වසරක් ම                     ගෙව්නා
මට නොතේරෙන පුතුට තේරෙන වචන දැන් ඇත එකතු           වීලා 


_ අ කු රු _

එකෙකු අත රැදුණ ද

තවකෙක් අතින් ගිලිහෙන

දිවිතුරා රස හොයන

මී වදයකි

අකුරු...

මී බින්දු වන් වදන්

මී තුඩ වන් රිදුම්

එක ම දෑතින් කෙටූ

දෙපැති තල ආයුධය

අකුරු....

ජීවිතය පුරාවට 

එකතු කොට ගැන බලා

නිමා කළ නොහැකි වූ

අංශුමය මී බිඳුය 

අකුරු....


Monday, June 7, 2021

වෙසක් 💌

වෙසක් සඳයි පින් සුවඳයි.....

බක් අඬ සඳ පෑල දොරින් පසෙකට           වීලා

වෙසක් කුමරු අතු පතරින් එබී             බලාලා

ගම්මානෙම පින් සුවඳයි දසත               විහිදිලා

වෙසක් කැකුළු පුබුදින්නට පොර      අල්ලාලා

 

එරබදු කැකුළියො ආයෙම නින්දට        වැටිලා

කුරුළු කොහා තවමත් ඇත ගී          මුමුණාලා

වෙසක් සිරිය සිතට නැගී පද             ගළපාලා

අන්න බලන් තාල තබයි අත්තට             වීලා

 

ගම්මානෙම කොලු ගැටව්න් එකට   එක්වෙලා

වෙසක් පැටව් නෙක සායම් පාට           පිරීලා

රැළි අල්ලා පාට පාට ඇදුම්                අන්දලා

කිටි කිටියෙම පැද්දි පැද්දි යසට      කැරකිලා

 

ගමයි පන්සලයි ආයෙත් එකට       එක්වෙලා

රාධයි සාමයි දෙන්නම සුදුවට             ඇදලා

වෙසක් තොරණ දැකුමට අත් දෙක අල්ලාලා

යන දවසට පැතුම් පතමු බුදුහිමි          වැදලා

 

Friday, April 23, 2021

මනාලියේ......




නුඹත් එක් මැදුරකට රජ කුමරි   වෙන්න ඇති

දෙමව්පිය තුරුලෙහි නොමද සැප   විදින්නැති

මලක් මෙන් රැකගෙන දුක සැප     බලන්නැති

පැතූ පෙම දලු ලමින් දීගෙකට        යන්න ඇති


තැලි පිලි පැළඳගෙන කුල ගෙයට    වඩින්නැති

නුඹගෙ උරුමය එතන කුස්සියම  වෙන්න ඇති

පුරා නෙක පිරුමන් සුභ නැකැත්     බලන්නැති

පෝරු මස්ථක වෙමින් කුස්සියට     වඩින්නැති


දස අතට ණය වෙමින් උත්සවත් ගන්න       ඇති

නෙක නෙක සුවඳ පැන් නුඹ ව දෝවන්න     ඇති

එතැන් සිට නුඹ නමින් ගැහැණියක් වෙන්න ඇති 

ඉසූ නෙක සුවඳ පැන් දුම් සුවඳ             දෙන්නැති 


නුඹ මැවූ සිහසුනත් ගිනිවැදී         දැවෙන්නැති

සිනිඳු අත් පා ඇගිලි කළු දුමින්     වැසෙන්නැති

ලුණු ඇඹුල් පදමට රස මසවු            පිසින්නැති

නුඹ මැවූ සිහින පොදි එකින් එක   බිඳෙන්නැති


දිවිතුරා රකින්නට පෙරුම්දම්          දෙන්න ඇති

එක්ව මඟ යන බවට දිව්රමින්        කියන්නැති

අහස් මාළිගා මෙන් පැතුම් පොඳි      බඳින්නැති

අවසානයේ ඔහුට කුස්සි දොර       වැහෙන්නැති

 

Tuesday, April 20, 2021

නෑයන් වේයන් වූ වගයි


හතර වටින් පණ දීගෙන

දොඩමලු වී පිට මුහුණින්

ඇතුලු මුවින් පිච්චි පිච්චි

දෙස් තියනා නෑදෑයෝ..


පස්ස හැරෙන සැනින් නික්ම

තවකෙකුගේ කනට ළං ව

කේළම් ටික කොඳුර කොඳුර

දෙස් තියනා නෑදෑයෝ...


දැන් ඔය නුඹ ගතට ළං ව

කේළම් ටික දොඩපු උන් ම

දවසක නුඹ ගැනත් ඔහොම

කියවයි තව එකෙක් එක්ක..


කොහොම උනත් හිතට ගනින්

මෙලොවින් උබ ගිය දවසට

විඳවන්නට වෙන්නෙ නුඹට

දෙගුණ තෙගුණ වෙලයි කර්ම..

වෙස්සන්තර පියා

 



දියණියගෙ උපන් පුවත

කනට වැටුණු මොහොතේ සිට 

ඇයගෙ සිනහවට වහල් ව

නොවිඳි රිදුම් වින්දෙ නුඹයි


සිප් කිරි නොමද ව පොවන්න

කාසි සොයා දිවා රැයේ

සැනකින් එය ගෙවා දමන

වෙස්සන්තර පියා නුඹයි


මැණිකක් මෙන් රැක ගනිමින්

පසුපස හිඳ සනසවමින්

රහසින් විත් හිස සිඹිනා

වෙස්සන්තර පියා නුඹයි


දහදුක් විඳ ඇති දැඩි කළ

මැණිකක් මෙන් රක්ෂා කළ

දියණිය වැඩි වියට පැමිණ 

යන්න ළඟයි දැන් දීගෙක


ලෝබකමක් නැතුවක් මෙන්

රහසින් කඳුලැලි උරමින්

පාවා දුන් සතුටු සිතින්

වෙස්සන්තර පියා නුඹයි


දියණියකට පියකු තරම්

ළංවන්නට නොමැත කෙනෙක් 

අවසර දෙනවද පවසම්

දීග නොයා ඉන්න ළඟින් 

  ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා  පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...