"අර කුඹුරෙ
ගෙදර මනුස්සයා බෙල්ල කපලා මරලා දාලාලු.."මෝටර්
රථයක ගිය එකෙක් කෑ ගසාගෙන ගියේ කඩේ තුළ සිටි පිරිසගේ ඇස් ගෙඩි තමා දෙසට හරවා
ගනිමිනි.
"බලාපන්
දැන් වෙන දේවල්, ගැටිස්සියෙකුට තියා වයසක ගෑනියෙක්ටවත් ඉන්න හිටින්න බෑ නොවැ."
හැබෑවට
ම බං ඔය මනුස්සයා කාටවත් කරදරයක් ඇති මනුස්සයෙක් නෙවෙයි නොවැ..හැමෝටම පුලු පුලුවන්
විදියට උදව් පදව් කරගෙන හිටියේ"
"ආ..න් ඒකනෙ බං මාත් මේ දෙඩුවේ. තට්ට තනියම ජීවත් වෙන වයසක ගෑනියෙක්ට මෙහෙම දෙයක් කරන්නේ මොන පව්කාරයෙක් ද කියලා..
උන්දෑ මහන්සියෙන් පොළව එක්ක හැප්පිලා හිටවන එළවලු පළතුරුත් කඩේ ගෙනත් තියන්නෙ හරි ම සන්තෝසෙන් නොවැ. ඊයෙත් කඩේට ඇවිත් හාල් කිලෝවක් අරගෙන ගියා නොවැ. හරියට ම ගණන් හිලව්ත් බේරනවා. හරි සාධාරණ මනුස්සයා" මුදලාලි කීවේ රන්එතනා නැන්දගේ බඩු පුරවපු පන්මල්ල ඇය අතට දෙමිනි.
"ගාන
පොතට දාන්න මුදලාලි" කියවූ
සැනින් මුදලාලි යකෙක් මෙන් රන්එතනා නැන්දා දෙස බැලුවේ කට ඇද කරමිනි. එය නොදැක්කා
මෙන් රන්එතනා නැන්දා පාරට පැන්නේය.
"ඇ..
මුදලාලි සිද්ධිය මුලින් ම දැකලා තියෙන්නේ ගුණවතීගේ ලොකු කොලුවා ලු නේද?" තවත්
එකියක් නැවත කතාවට බැස්සාය.
"ඌ ඒක
දැකලා කෙහෙල් ගහ කැපුවා වගේ එතන ඇදගෙන වැටිලලු.. අන්න ඌට වතුර මතුරනව ලු" තවත්
ගමේ ගැහැණියෙක් කීවේ අත නිකට තබාගෙන ය.
කුඹුරෙ
ගෙදර ආච්චිගේ පියකරු සිනහව මට මැවී පෙණිනි. පෙනෙන්නට එකදු දතක්වත් ඇගේ කටෙහි
නොතිබුණත් නිතර ම ඇගේ සිනහව මුහුණට ආලෝකයක් විය. කරුංකා ගෙඩියක් තරම් වූ ඇගේ කුඩා
කොණ්ඩයෙහි එකදු කළු කෙසක්වත් පෙනෙන්නට නැත්තේය. දනහිසට මදක් පහළට වන තෙක් උඩට කර
ඇඳ ඇති චීත්තය හා කහ පැහැ ගැන් වුණු සුදු හැට්ටය ඇගේ කඩිසර බව විදහා පෙන්වන්නකි.
ගමේ ඕනෑ ම මරණයක් මඟුලකට පැමිණෙන අතර ඕනෑම අයෙක් සමඟ නොපැකිලි ව කතා බහ කරමින්
නිතර විහිලු තහලුවෙන් දිවි ගෙවන අපූරු චරිතයකි.
"කෙල්ලෙ
උඹට ඕන මොනවද? උඹලටත් ඕවා හොඳ පාඩම්,
දැන්වත් උඹලගෙ ඔය රෝන්දේ යෑම ටිකක් අඩු කරපන්.." මුදලාලි
මා දුන් බඩු ලයිස්තුව එකතු කරමින් මා දෙස නොබලා ම කීවේය. බඩු ටික දමා ගත් පන්මල්ල
ද එල්ලා ගෙන නැවත නිවස බලා ඒමට හැරෙත් ම වේගයෙන් පොලිස් නිල රථයක් කුඩා මැටි පාර
දෙවනත් කරමින් දූවිලි අවුස්සමින් ඉගිලී ගියේය.
මා
නිවසට ඇතුල්වෙත් ම අම්මාගේ, තාත්තාගේ හා ආත්තම්මාගේ කතාව වූයේ එයම ය. කතාවේ ඉතිරි
ටික දැන දැන ගැනීමේ වුවමනාව නිසා මම අම්මා සිටි තැනින් පන් මල්ල තබා තබා පඩිය
උඩින් වාඩි වුණෙමි.
"මං
යද්දි ගමේ මිනිස්සු ඔක්කොම එතන වට වෙලා හිටියෙ මී මැහි පොදියට ගලකින් ගැහුවා වගෙ.
ලේ ගංගාවක් මැද ඒ මනුස්සයගේ බෙල්ල ගෙයි මුල්ලක තිබුණා.. ඇඟ නූල් පොටක්වත් තිබුනේ නෑ නොවැ.. කොස් කප කප හිටලා
තියෙන්නේ.. කොස් ඉරි ගේ පුරාම සිසීයක් වෙලා වෙලා තිබුනේ..." තාත්තා
කතාව කියන අතරතුර ආත්තම්මා හා අම්මා අත නිකටේ තබාගෙන ඇස් ලොකු කරගෙන මෙලෝ සිහියක්
නැතුවාක් මෙන් බලන් සිටියෝය.
"ආරංචියෙ
හැටියට කොස් කප කප හිටපු හිටපු පිහියෙන් ම තමයි බෙල්ල කපලා තියෙන්නෙ."
"හැබෑවට
ම? සීවරම් දෙයි හාමුදුරුවනේ...මේවනං දෙවියො ම බලාගන්න ඕනෑ." යැයි ආත්තම්මා
කීවාය.
මට
තනිව ම ගෙට යෑමට ද බයක් ඇති විය. කතාවේ ඉතිරි ටික අසා සිටීමටත් බයක් ඇති විය. මම
අම්මා ළඟට තවත් කිට්ටු වීමි.
"ඔය මනුස්සයට හිටියෙ එක දරුවයි, ඒ දරුවත් උස් මහත් කරන්න ඔය මනුස්සයා බොහොම දුක් වින්දා, දැන්නම් ඒ දරුවා හොදට ඉගෙන ගෙන රටකට වෙලා ඉන්න බවයි ආරංචි, කොච්චර ඉගෙන ගත්තත් ඉතින් අම්මගේ අප්පගෙ මරණෙට නැති දරුවෙක්ගෙන් වැඩක් තියෙනවායැ" ආත්තම්මා කතාවට උඩඟු තැබුවාය."
ඈ.. බං හවස ඒ මනුස්සයා දලු ඔඩොක්කුවකුත් කඩල ඒකත් දළු වාහනයට දීලා තියෙනව ලු හවස පහට විතර"
"හැබෑවට
ම බං මේ ගමේ ඔහොම දෙයක් කොරන්න කවුද ඉන්නේ?"
"ඕවා
කරන්න මේ ගමේ වෙන ජගතෙක් ඉන්නවයි බං ඉතිං, තක්කෙට ම ඕක අර කසිප්පු මුදලාලිගේ වැඩක්,
ඒ මිනිහාගේ කසිප්පු රස්සාව කරගෙන යන්න හොඳ ම තැන ඔතන කියලා කීපසැරයක් ම ඔයි වත්ත
ඉල්ලුවලු. ඔයි ගෑනි කැමති වෙලා නැතිලු. කීප සැරයක් ම පොලෝසියෙන් කසිප්පු මුදලාලි
කුදලන් ගියේ ඔයි ගෑනි ඔත්තු දීපු නිසා ය කියලා කසිප්පු මුදලාලි ගමේ කීප දෙනෙක්ට
කියලා තියෙනව. පාලු පලාත නිසා ගම්මු වැඩිය ඔයි පැත්තෙ යන්න එන්නෙත් නෑ නොවැ. කීපදෙනෙක්
දැකලා තියෙනවා ඕකා හැමදාම ඔයි පැත්තෙ ගාටනවා කසිප්පු පෙරාගෙන. ඒ ගිහින් කීප දවසක්
ම ඔයි ගෑනි එක්ක රණ්ඩු සරුවල් වෙලා තියෙනවලු" තාත්තා
රහසින් කීවේය.
"උබලෑ
ඕවා අපි එක්ක කතා බහ කොලාට වෙන උන් ඉස්සරහ කටේ කෙළ බිඳක් හලනවා නෙමෙයි. අපිටත් උස් මහත් වෙච්චි ගැටිස්සියෙක්
ඉන්නවා නොවැ" අම්මා
පන්මල්ල අතට ගනිමින් කීවාය.
"බලාපන්..
අර කමලා නේද මේ පැත්තට කඩිමුඩියෙ දුවගෙන එන්නේ?" අම්මා පාර දෙස එබී බලමින් කීවාය.
"ආ...
කුසුමලතා ආරංචි ද සිද්ධිය?"
කියමින් කමලා නැන්දා අසල තනා ඇති ලී බංකුවක වාඩි වෙමින් කතාවට එකතු වූයේ ගම වටේ
ගෙවල්වලට ගොස් මිනිමරුවා සොයන්නාක් මෙන් විපරම් කරමිනි.
"ඒක
නොවැ කමලෝ අපිත් මේ කතා වුණේ" ආත්තම්මා ඇඟිලි
දෙකක් තොල මත තබා ඒ මැදින් රතු ම රතු බුලත් කෙළ පහරක් මිදුලට විදිමින් කීවාය.
ඈ.. බං
අක්කේ එතකොට ඔයි පිහිය ගෙට පිළිකන්නෙ තිබිලා හම්බ වුනා නම් මෙච්චර දියුණු රටේ ඕක
කරපු එකා හොයාගන්න බැරිද?" අම්මා
ඇසුවාය.
"පිහිය
නම් කමක් නෑ බං. ඒ ගෑනිගෙ අතේ මිනිමරුවගේ කමීස කෑල්ලකුත් තිබිලා තියෙනවා නොවැ.
අනිත් එක සිද්ධිය වුණ වෙලාවෙ ඉදන් මේ වෙනකනුත් කසිප්පු මුදලාලි ආ ගිය අතක් නෑලුනෙ"
"හැබෑටම?"
"නැතුව
බං.. ඒත් පොලීසියේ උදවිය කිසිම තැකීමක් නොකර පිහිය අරගෙන ගියා කියන්නේ. කරපු
එකා අල්ලන්න බැරි එක නෙමෙයි බං පුරස්නෙ..කරපු උන්ට ඕක යටි ගහන්න පොලීසියෙ මහතැනුත්
උපකාර වෙන එක නොවැ..බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ නොවැ " කමලා නැන්දා බුලත් කොළයේ එතූ හුණු, පුවක් ගුලිය
කටට ඔබමින් කීවාය.
"අනේ ද
කියන්නෙ බං.. ඕවා උඩ ඉන්න දෙයියන් වහන්සේල ම බලාගන්න ඕනෑ. මේ අපරාදෙ මේ ගමේ වෙච්ච
පලවෙනි කලබගෑනිය නෙමෙයි නොවැ. අවසාන එකත් මේක නොවෙයි කියලා මට ඉර හඳ වගේ විස්වාසයි. මේවා සහ ගහන අපරාද"
තාත්තාගේ මුහුණෙහි තිබුණේ කල කීරීමක ලකුණු ය.
දින
කිහිපයක් ගෙවී ගියේ ය. ගමේ මිනිමැරුම පිළිබඳ ව හාවක් හූවක් නැත. කසිප්පු මුදලාලි
ගැනත් ආරංචියක් නැත.
දිනක්
උදෑසන කිසිවෙක්
කුස්සියේ උස් හඩින් දොඩමලු
වනු ඇසෙයි. ඒ කමලා නැන්දාගේ හඩ ය. මම wefඳන්
නැගිට රෙදිපිළි අකුලා තබා කුස්සියට ගියෙමි.
"අපූරුයි ගැටිස්සියෙක්
නැගිටින වෙලාව" කියමින් කමලා
නැන්දා මගේ දෙස ඔරවා බැලුවාය.
මැටි
කලයෙන් වතුර ටිකක් ගෙන කට සෝදා ගත් මම හිරමණය උඩින් වාඩි වුනෙමි.
"අර කුඹුරේ ගෙදර
මනුස්සයට කරපු අපරාදෙ ම මදැයි ඔයි මිනහට ඔහොම වෙන්න." අම්මා කිව්වාය.
මේ කතාවට මුල් ව ඇත්තේ ඊයේ හවස් යාමයේ සිදු වූ හදිසි අනතුරෙන් කසිප්පු මුදල්ලි මිය ගොස් සිටිම ය. ඔහු මිය ගොස් ඇත්තේ ගමේ ඇති ඇළ පහරින් එගොඩ වීමට ඇති කුඩා ඒදණ්ඩෙන් වැටී බෙල්ලේ උලක් ඇනීමෙනි. ඇති තරම් කසිප්පු බී මෙම ඒදණ්ඩෙන් එගොඩ වන ඔහු කසිප්පු නොබීම ඒදණ්ඩෙන් වැටුනේ කෙසේදැයි සියල්ලන්ට ම ගැටලුවකි.
- දිලිනි නිසංසලා -