ගාලු පුරවරයේ සිට කිලෝමීටර් 50ක් පමණ දුර ගෙවා මනරම් තුරුලතාවන්ගෙන් පිරි ගම්නියම්ගම්පසු කරමින් ගිං ගඟ මායිම දිගේ උඩුගම තවලම මාර්ගයේ ගමන් කරන්නෙකුගේ නෙත් කදු පන්තිය දෙසට ඇඳී යන්නේ හාස්කමකින් මෙනි. දෙස් විදෙස් සංචාරකයන්ගේ පමණක් නො ව කිතුනු බැතිමතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ඒ අපූරු පුදබිම හිනිදුම කල්වාරි පුදබිමයි.
බැලූ බැලූනෙක මානයේ හරිත පැහැයෙන් බබළන තුරුලතා මෙන් ම හිනිදුම පල්ලිය හා කල්වාරි පුදබිම එකට යා කරන්නෙ ගිං ගං කොමළිය මැදින් වැටී ඇති පාලමයි.
දහසක් කිතුනුවන්ගේ පාද ස්පර්ශය ලැබූ ඒ අපූර්ව
කල්වාරි පුදබිම මුහුදු මට්ටමේ සිට අඩි 2167ක් උසට දිස් වන්නේ ගාලු දිස්ත්‍රික්කයේ උස ම
ස්ථානය බවට සාක්ෂි ඉතිරි කරමිනි.
පාරිසරික සුන්දරත්වයෙන් හෙබි තුරු ලතාවන්ගෙන් සුසැදි මේ කඳුබිම් පෙදෙස අද ප්‍රචලිත ව ඇත්තේ “කුරුස කන්ද” ලෙසිනි.
ඈත අතීතයේ හිනිදුම් පත්තුවේ
ජනතාව ඉතා ප්‍රාථමික ජීවිතයක් ගත කර ඇති අතර, 1850 වර්ෂය වන
විට මෙම ප්‍රදේශයට
කන්‍යා සොයුරියන් තිදෙනෙකු පැමිණ
ඇත. ඉන්නේෂියා
සොයුරිය මේ අතර ප්‍රධාන වේ. ගිං ගඟ ආශ්‍රිත
ව තම වාසස්ථාන පිහිටා ගත් මොවුන් මෙම ප්‍රදේශයේ ජනතාවට තම ජීවන පැවැත්ම සකසා ගැනීමට දැනුම් ලබාදීම හා උදව්
උපකාර සිදු කර ඇත. මෙහි ප්‍රතිපලයක්
ලෙස බෙල්ජියම්
ජාතික පියතුමන් තිදෙනෙක් මෙම ප්‍රදේශයට පැමිණ කුඩා දෙව් මැදුරක් සාදාගෙන
ඇති අතර, ශාන්ත ආනා
වතුයාය මිලදී ගෙන පල්ලිය සතු කර ගනු ලැබූහ.
තව ද, මෙම වත්ත ආශ්‍රය කරගෙන ශාන්ත ආනා විද්‍යාලය ද, ශාන්ත ආනා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ද ආරම්භ කර ඇත.ඊට අමතර ව අනාථ දරුවන් සිටින නිවාසයක් ද තිබී ඇති අතර, මෙහි අනාථ දරුවන් 300ක් පමණ රඳවා ගෙන අධ්‍යාපනය ලබා දී ඇත.
දැනට පවතින දෙව් මැදුර තෙවන වතාවට සාදන ලද දෙව් මැදුර වන අතර, මෙම දේව මන්දිරයේ පෞරාණික ජප මාලයක්ද පවතී. මෙම ජප මාලය මෙම ප්‍රදේශයට පැමිණි ඉන්නේෂියා කන්‍යා සොයුරියගේ බව පැවසෙයි. තව ද 1905 වර්ෂයේදී බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ සුරුවන් දෙකක් ගිං ගඟ ඔස්සේ මෙම දේව මන්දිරයට රැගෙන විත් මෙහි තැන්පත් කර ඇත. ඉන් එකක් සුරුවමක් දේව මාතාවන්ගේ වන අතර අනෙක් සුරුවම ජේසුස්තුමන්ගේ සුරුවමකි.
මේ අපූරු කඳුබිම ජනතාව අතර මෙතරම් ප්‍රසිද්ධ ව පැවතීමට හේතුව ලෙස ගම්මුන් දක්වන්නේ ජේසුස් වහන්සේ කුරුසය කර තබාගෙන ජෙරුසලම වෙත අවසන් ගමන ගිය දුෂ්කර මාර්ගයේ ම අනුරුවක් මෙම කල්වාරි කන්දේ පවතින බවයි.
කෙසේ වුවත්
මෙම කඳු පියසේ මෙවැනි පුදබිමක් ගොඩනැංවීමට හේතුව හාස්කමකින් සිදුවූවක් ලෙස කිතුනු
ජනතාව අතර දැඩි විශ්වාසයක් පවතී.
1947-1948 කාලයේ දී පමණ හිනිදුම ප්‍රදේශයට ඇතිවූයේ දැඩි නියගයකි. ඒ මහා සිකුරාදා දිනයට සතියකට පමණ පෙරයැයි සඳහන් වේ.ඒ සමඟ ම ඇති වූ ගින්නකින් ගගෙන් එතෙර සම්පූර්ණ කැළෑව ම විනාශ වී ඇත. විනාශ වූ ළදු කැළෑවෙ උස් ස්ථානයක ඉතිරි වූ එක ම ගසක් ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසා ඇති ආකාරය එවකට මීසම් පාලක සිරිල් එදිරිසිංහ පියතුමා හා තවත් පිරිසකට දෘෂ්‍යමාන වී ඇති බව ජනශ්‍රැති කතාවයි.
වසර 108ක පමණ පැරණි ඉතිහාසයක්
ඇති මෙම දෙව් මැදුරෙහි බෙනිපස් පෙරේරා මහතා සේවය කරයි.
වර්ෂ 1958.02.23 වන දින ගාලු රදගුරු තැන්පත්
අති උතුම් ධර්මාචාරඑන්.එම්. ලෞද්‍රියෝ ස්වාමීන්
වහන්සේ විසින් මෙම කල්වාරිය කැප කොට පාද නමස්කාර ස්ථාන
ආශිර්වාද කිරීමෙන් පසුව මෙම දෙව් මැදුරෙහි ඉරු දින දිව්‍ය පූජාව සිදු කරනු ලැබීය.
මෙය ලංකාවේ
දෙවැනි පැරණිත ම කන්ද ලෙස ද හඳුනාගෙන ඇත. අක්කර 213 කින් යුක්ත ශාන්ත ආනා
වතුයායේ තම ජීවිකාව සවිකර ගන්නා
පිරිසක් ද මේ අතර වේ. මෙම
හිනිදුම දේවස්ථානයේ
ශ්‍රී කුරුසයේ ශුද්ධ වූ ධාතුව ද තැන්පත්
කර ඇත.
කල්වාරි පුදබිම තරණය ආරම්භ වන මොහොතේ සිට ම
ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියේ සිට ජීවිත අවස්ථා සිහිපත් කරවන ප්‍රතිමා ඉතා
අලංකාරවත් ව දිස්වන බව මා කලින් සඳහන් කළෙමි. මෙම ප්‍රතිමා දුටු ක්‍රිස්තුස් බැතිමතුන් මෙම කදුබිම වන්දනාමාන කරන්නේ ක්‍රිස්තුස්
වහන්සේ වෙනුවෙන් නිර්මාණය වූ ගීතිකාගී ගායනයෙනි. ඔවුන්ගේ දෑස් එම අවස්ථාවල දී කඳුලින් පිරී තිබෙන ආකාරය දැක ගත හැකිය.
මෙම වන්දමාන තුළින් ඔවුන්ට තව තවත් දෙවියන් වහන්සේට සමීප වන්නට හැකි වේවායි
පතමු.
No comments:
Post a Comment