Monday, July 19, 2021

_කුමාරදාස සපුතන්ත්‍රී ගී පද රචනා_

 




Ø ගීයට හිමි වටිනාකම පවතින්නේ එහි පද රචනය තුළ ය. ගී පද රචනය අසාර්ථක වුවහොත් සම්භාව්‍ය  ගායකයකු, සංගීතඥයකු බිහි නොවේ. 

Ø  කුමාරදාස සපුතන්ත්‍රියන් සිංහල ගී කලා ක්ෂේත්‍රයට සම්භන්ධ වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ගුවන් විදුලි සංස්කාරවරයෙකු මෙන් ම වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසය. 

Ø  සපුතන්ත්‍රියන් තම මාවතේ ස්ථිර පදනම දැමුවේ 1999 වර්ෂයේ එළිදැක්වූ මලින් මලට යන ගී පද එකතුවෙනි. 

Ø  ප්‍රථම සරල ගීය නිර්මාණය වුණේ ගුවන් විදුලි වැඩසටහනක දී රෝහණ වීරසිංහයන් වෙනුවෙනි. අපරාජිතයි මා හද රජ දහනකයන ගීතය ඔහුගේ ප්‍රථම ගීතය බවට පත්වුණි.

Ø සපුතන්ත්‍රීයන් වැඩි වශයෙන් ගී පද රචනා කළේ සුනිල් එදිරිසිංහයන් ය.

· චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා.....

· හදේ කොතැනක හෝ හිඳී ඔබ.....

· නිදුකාණෙනි.........

· ඇසුවේ ද කවුරුන් හෝ ඔබෙන්.........

· මිනිසා සුවඳයි මල සේ........

· මලට සුවඳ සේ.......

· සූවිසිවරණින්.......

· රන් මලක් ලෙස.......

 

Ø එඩ්වඩ් ජයකොඩි සූරීන්ට ලියා දුන් ගීත ලෙස,

· ලඳුඕවිටිකළල් මතින්...........

· මාරම්බරි...........

· එපා සඳේ ඔබේ සිනා මේ රැයේ........

· මාලතී වසන්තේ.............

 

හදේ කොතැනක...

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින් පෙළයි මා
මුදා සුව දැහැනින්


සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ

තලා මා සිත පලාගිය ඔබ
දවයි මා අද
තනිවෙනා මොහොතින්
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස්සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කුඳුළද සිඳෙන්නට පෙර
යදින්නම ඔබ මැකී යනු මතකෙන්                       

ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ එදිරිසිංහ

Ø  විරහවේ වේදනාව සිත කීරිගස්වන අයුරින් ගෙන් එන ගීයකි. මෙහි සපුතන්ත්‍රී විසින් වචන යොදන්නේ ඉතාම පරිස්සම් සහගතව ය.

Ø  ඉතා ම සුළු සිද්ධියක් පාදක කොට ගෙන සිතුවිලි සමුදායක් එක පිට එක නැග එන අන්දමට මනා ව දක්වා සිටියි.

Ø  ගීය පුරාම දැවෙන්නේ අවිනිශ්චිතභාවයයි. ඇගේ මතකයන් ඇත්තේ හදේ කොතැනකදැයි ඔහු නොදනියි. එසේ ම සිතිවිලි අවදි වෙන්නට ද කල්යල් බලමින් සිටියි.

Ø  මේ ගීතය පෙමයේ විරහවෙන් තැවුණු, අමතක කළ නොහැවකි පෙමක් ඇති සියල්ලන්ගේ ම හද පෙළන හැඟුම්, පපුව පළා ලොවට පෙන්වන්නට ලියැවුණු ගීයෙකි. මෙහි භාවය ඒ තරම් ම ශක්තිමත් ය.

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ

අපි මලින් මලේ පැණි පෙරුවට

 වන බඹරුන් නොවේ .. //

 

        හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ

කුසේගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ

මලට කලින් අපි තැලීලයි පූදින මල් තලන්නේ

අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ

 

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ....

 

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ

පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරි සරන්නේ

නැති බැරිකමයි උඩු සුළඟේ ළණු දෙපොටේ වැනෙන්නේ

සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ.....

ගායනය - සුනිල් එදිරිසිංහ

සංගීතය - රෝහණ වීරසිංහ

Ø කුමාරදාස සපුතන්ත්‍රී සූරීන්ගේ කුඩා කළ අත්දැකීම් මෙම ගීයට වස්තු විෂය වී තිබේ.

Ø සපුතන්ත්‍රී ශූරීන්ගේ පද රචනා සාර්ථකභාවයට පත්වන්නට ඔහුගේ අත්දැකීම් ම චිත්‍රණයට නැගීම විශේෂ කරුණකි.

Ø කවියෙක් යනු ඉතාම සංවේදී කෙනෙකි. ඔහු සමාජයේ වූ ඉතාම සියුම් දෙය කෙරෙහි පවා සංවේදී වේ. මේ ගීතයේ පද රචනය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී සපුතන්ත්‍රියන් තුළ පැවති කුසලතාව මනා ව පිළිබිඹු වේ.

Ø රා මැදීම, සුරාව තේමා කරගත් නිර්මාණ බොහෝමයක් තිබේ.  නමුත් එකී වෘත්තිය කෙරෙහි සාධාරණත්වයකින් කිසිදු ගීතයක් රචනා වී නොමැත.රා කැපීම නිමිති කොටගෙන ලියැවුණු මෙම ගීතය එකී වෘත්තිය කෙරෙහි සාධාරණ පද රචනයක් ඉටු කරයි.

Ø පද රචනය තුළ ව්‍යංගාර්ථ හා උත්ප්‍රාසය දැනවීම.

Ø ගී පද රචකයා තම පරිකල්පන ශක්තියෙන් රා මැදීම උත්තම රැකියාවක් බවට පරිකල්පනය කරයි.

Ø රා මැදීම පහත් ක්‍රියාවක් යැයි සලකන සමාජයක ඔවුන්ගේ ජීවන බර, ජීවිතයේ දුක් දොම්නස් තම සංවේදී දෑසින් දැක අනුවේදනීය ව කළ සාර්ථක ගී පැබදුමකි.

 

පිතුසෙනෙහේ...

පිතු සෙනෙහේ පිදු
පියෙකු නොමැත ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැදි තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ......

හිරු මඬළක් සේ කිරණ බෙදා දී
තුරු සෙවණක් සේ සිසිල සදා දී
ජීවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී

පොළොව නිවාලන්නේ
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ

පියවරුමයි ලොව බුදුවන මවුනට
ඒ විවිරණ දෙන්නේ.....
                                                                
ගායනය – විශාරද දීපිකා පියදර්ශනී පීරිස්
සංගීතය – රෝහණ වීරසිංහ

Ø සෙනෙහස නොමති දින දරුවන් හිනැහුණේ කවදා දැයි ගීත රචකයා අපෙන් ප්‍රශ්න කර සිටී. දරුවන්ගේ සිතේ රැඳුණ තනිය මකන්නට මවුවරුන්ට පමණක් නොහැක.

Ø පිය කෙනෙකුගේ පවුල තුළ වූ කාර්‍යභාරය ඒ පද පෙළට එක් කර ඇති හැටි අපූරු ය.

Ø ගීතයේ සංවේදීම කොටස වන්නේ ඊලඟ අන්තරාවයි. මතු බුදු වන මවුවරුන්ට, ඒ පිළිබඳ ව නියත විවරණ ලබා දෙන්නේ තවත් පිය කෙනෙකු බව රචකයා සඳහන් කරයි. එනම් මවුවරුන්ගේ අවසන් ප්‍රාර්ථනාව පවා ඉටුවීමට පියවරුන්උදවු කළ යුතු බවකි.

Ø  මෙහිදී පියාගේ නිහඬ කාර්‍යය මහත් සේ අගය පෙන්වනු ලබයි.

 

Mine 📷




_ අම්මා _














අකුරු දෙක තුන අතින් අල්ලා අම්මා යැයි වචනයක්              ලිව්වා
පාසලේ පොත් අකුරු කරවා වාරෙකුත් හෙම නිමා             කෙරුවා
සරසවියකට ඇතුල් වීලා එහිත් සිව් වසරක් ම                     ගෙව්නා
මට නොතේරෙන පුතුට තේරෙන වචන දැන් ඇත එකතු           වීලා 


_ අ කු රු _

එකෙකු අත රැදුණ ද

තවකෙක් අතින් ගිලිහෙන

දිවිතුරා රස හොයන

මී වදයකි

අකුරු...

මී බින්දු වන් වදන්

මී තුඩ වන් රිදුම්

එක ම දෑතින් කෙටූ

දෙපැති තල ආයුධය

අකුරු....

ජීවිතය පුරාවට 

එකතු කොට ගැන බලා

නිමා කළ නොහැකි වූ

අංශුමය මී බිඳුය 

අකුරු....


Thursday, July 15, 2021

_කතුවැකිය_

                   තිත්ත නිරෝධායනයේ ඇත්ත

කොරෝනා වසංගතය හමුවේ නිරෝධායනය වඩාත් සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාවකි. වර්තමානයේ වඩාත් ම උපහාසයට ලක් වූ මාතෘකාව බවට ද නිරෝධායනය පරිවර්තනය වී තිබේ. ඊට හේතුව නිරෝධායන වැඩපිළිවෙළ තුළ සිදුවන විවිධ අක්‍රමිකතාවන් ය.

     කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම හමුවේ නිරෝධායනය තුළින් රජයේ අභිලාසය වන්නේ රෝගය ව්‍යාප්ත වීම මර්දනය කිරීමයි. ඒ සඳහා රජය බොහෝ පිරිවැයක් වෙන් කොට තිබේ. නමුත් මෙහි ඇති ගැටලුව එකී පිරිවැය සැබවින් ම රෝග ව්‍යාප්තිය මර්දනය කිරීමට යොදා ගන්නේ ද යන්නයි. මුල් කාලයේ නිරෝධායන වැඩපිළිවෙළ ඉතා ම සෞඛ්‍යාරක්ෂිත ව හා පිළිවෙළට සිදු වූ නිසාවෙන් කොරෝනා පළමු රැල්ල සැලකිය යුතු මට්ටමකට මර්දනය කිරීමට රජයට අවස්ථාව ලැබුණි. නමුත් දෙවන රැල්ලේ ආරම්භයත් සමඟ නිරෝධායන වැඩපිළිවෙළ සහමුලින් ම කනපිට පෙරලුණි.

          නිරෝධායන නීති රීතී එදා වේල සරිකර ගෙන ජීවත්වන මිනිසුන්ට දඩුවමක් විය. නීතිය සියල්ලන්ට ම සමාන විය යුතුය. නිතී ඉටු කරනවා යැයි කියන ආයතන සත්‍ය ලෙස ම මැදිහත් වන්නේ නිරෝධායන නීති සැබෑ ලෙස ම කඩ කරන්නන්ට ද යන්න පසුගිය දිනවල සමාජ ජාලා මාධ්‍ය තුළින් පැහැදිලි ව ම පෙනෙන්නට තිබුණි. ඇති හැකි අය පොදි බැදගෙන විනෝද චාරිකා ගිය අතර නැති බැරි අයට තම ජීවිකාව කර ගෙන යාමට පවා නිතීයෙන් තහංචි පැනවුණි. එහි ප්‍රතිඵලය වර්තමානයේ ඇස් පනා පිට ම දක්නට ලැබේ.

අනෙක් අතට, මුල් කාලයේ ආශ්‍රිතයින් පවා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ ද පසු ව අසාධ්‍ය නොවන රෝගීන් නිවෙස්වල තැබීමට තීරණය කොට ඇත්තේ වැඩිවන රෝගීන් හමුවේ නිරෝධායන මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම අසීරු කටයුත්තක් බැවිනි.

නමුත් මෑත කාලයේ අසන්නට ලැබෙන්නේ ඇතැම් රෝගීන්ට පවා ප්‍රතිකාර මධ්‍යස්ථානක් නොමැති ව සිටිය දී ස්වයං නිරෝධායනයට ලක් කළ යුතු ව තිබූ පිරිස් පවා මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ය. ඒ පිළිබඳ ව ආරංචිය ලැබුණු විට ම පොලීසිය නීතිය ක්‍රියාත්මක කර තිබුණේ ද නැත. ගැටලුව ඇත්තේ වරදට වඩා වරද නිවැරැදි කළ ක්‍රමය තුළයි.

නිරෝධායනයට යොමු කිරීම අධිකරණය ලබා දෙන දඩුවමක් නොවේ. නමුත් අයෙකු අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කරන්නේ නම්, පවතින තත්ත්වය මත එම සැකකරුවෝ නිරෝධනය සඳහා යොමු කෙරේ. ඒ පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැති පිරිස් එයට විවිධ අර්ථකතන ලබා දුන්හ.

නූතනයේ ක්‍රියාත්මක වන සංචරණ සීමාවලින් සැබෑ ලෙස ම කොරෝනා මර්දනයට දායකත්වයක් ලැබේ ද යන්න ගැටලුවකි. සංචරණ සීමාවලින් අපේක්ෂා කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පිටත් වීම වුවත්, අත්‍යවශ්‍ය සේවා හැරුණු කොට අන් සියල්ලක් ම සංචරණය කරයි. එවැනි තත්ත්වයක් මත සංචරණ සීමා පනවා තැබීමෙන් කිසිදු ඵලක් නොමැත.

Monday, June 21, 2021

කෙටි කතාව - කුඹුරේ ගෙදර ආච්චි

      සවස හයට පමණ මා කඩයට යන අතරමදී මිනිසුන් කලබලයෙන් එක ම දිශාවකට දිව්වත් මට එය ගානක් නොවීය. මා කඩමණ්ඩියට ළං වෙද්දි ම කසුකුසුව වැඩි විය.

"අර කුඹුරෙ ගෙදර මනුස්සයා බෙල්ල කපලා මරලා දාලාලු.."මෝටර් රථයක ගිය එකෙක් කෑ ගසාගෙන ගියේ කඩේ තුළ සිටි පිරිසගේ ඇස් ගෙඩි තමා දෙසට හරවා ගනිමිනි.

"බලාපන් දැන් වෙන දේවල්, ගැටිස්සියෙකුට තියා වයසක ගෑනියෙක්ටවත් ඉන්න හිටින්න බෑ නොවැ."

හැබෑවට ම බං ඔය මනුස්සයා කාටවත් කරදරයක් ඇති මනුස්සයෙක් නෙවෙයි නොවැ..හැමෝටම පුලු පුලුවන් විදියට උදව් පදව් කරගෙන හිටියේ"

"ආ..න් ඒකනෙ බං මාත් මේ දෙඩුවේ. තට්ට තනියම ජීවත් වෙන වයසක ගෑනියෙක්ට මෙහෙම දෙයක් කරන්නේ මොන පව්කාරයෙක් ද කියලා.. 

උන්දෑ මහන්සියෙන් පොළව එක්ක හැප්පිලා හිටවන එළවලු පළතුරුත් කඩේ ගෙනත් තියන්නෙ හරි ම සන්තෝසෙන් නොවැ. ඊයෙත් කඩේට ඇවිත් හාල් කිලෝවක් අරගෙන ගියා නොවැ. හරියට ම ගණන් හිලව්ත් බේරනවා. හරි සාධාරණ මනුස්සයා" මුදලාලි කීවේ රන්එතනා නැන්දගේ බඩු පුරවපු පන්මල්ල ඇය අතට දෙමිනි.

"ගාන පොතට දාන්න මුදලාලි" කියවූ සැනින් මුදලාලි යකෙක් මෙන් රන්එතනා නැන්දා දෙස බැලුවේ කට ඇද කරමිනි. එය නොදැක්කා මෙන් රන්එතනා නැන්දා පාරට පැන්නේය.

"ඇ.. මුදලාලි සිද්ධිය මුලින් ම දැකලා තියෙන්නේ ගුණවතීගේ ලොකු කොලුවා ලු නේද?" තවත් එකියක් නැවත කතාවට බැස්සාය.

"ඌ ඒක දැකලා කෙහෙල් ගහ කැපුවා වගේ එතන ඇදගෙන වැටිලලු.. අන්න ඌට වතුර මතුරනව ලු" තවත් ගමේ ගැහැණියෙක් කීවේ අත නිකට තබාගෙන ය.

කුඹුරෙ ගෙදර ආච්චිගේ පියකරු සිනහව මට මැවී පෙණිනි. පෙනෙන්නට එකදු දතක්වත් ඇගේ කටෙහි නොතිබුණත් නිතර ම ඇගේ සිනහව මුහුණට ආලෝකයක් විය. කරුංකා ගෙඩියක් තරම් වූ ඇගේ කුඩා කොණ්ඩයෙහි එකදු කළු කෙසක්වත් පෙනෙන්නට නැත්තේය. දනහිසට මදක් පහළට වන තෙක් උඩට කර ඇඳ ඇති චීත්තය හා කහ පැහැ ගැන් වුණු සුදු හැට්ටය ඇගේ කඩිසර බව විදහා පෙන්වන්නකි. ගමේ ඕනෑ ම මරණයක් මඟුලකට පැමිණෙන අතර ඕනෑම අයෙක් සමඟ නොපැකිලි ව කතා බහ කරමින් නිතර විහිලු තහලුවෙන් දිවි ගෙවන අපූරු චරිතයකි.

"කෙල්ලෙ උඹට ඕන මොනවද? උඹලටත් ඕවා හො පාඩම්, දැන්වත් උඹලගෙ ඔය රෝන්දේ යෑම ටිකක් අඩු කරපන්.." මුදලාලි මා දුන් බඩු ලයිස්තුව එකතු කරමින් මා දෙස නොබලා ම කීවේය. බඩු ටික දමා ගත් පන්මල්ල ද එල්ලා ‍ගෙන නැවත නිවස බලා ඒමට හැරෙත් ම වේගයෙන් පොලිස් නිල රථයක් කුඩා මැටි පාර දෙවනත් කරමින් දූවිලි අවුස්සමින් ඉගිලී ගියේය.

මා නිවසට ඇතුල්වෙත් ම අම්මාගේ, තාත්තාගේ හා ආත්තම්මාගේ කතාව වූයේ එයම ය. කතාවේ ඉතිරි ටික දැන දැන ගැනීමේ වුවමනාව නිසා මම අම්මා සිටි තැනින් පන් මල්ල තබා තබා පඩිය උඩින් වාඩි වුණෙමි.

"මං යද්දි ගමේ මිනිස්සු ඔක්කොම එතන වට වෙලා හිටියෙ මී මැහි පොදියට ගලකින් ගැහුවා වගෙ. ලේ ගංගාවක් මැද ඒ මනුස්සයගේ බෙල්ල ගෙයි මුල්ලක තිබුණා.. ඇ නූල් පොටක්වත් තිබුනේ නෑ නොවැ.. කොස් කප කප හිටලා තියෙන්නේ.. කොස් ඉරි ගේ පුරාම සිසීයක් වෙලා වෙලා තිබුනේ..." තාත්තා කතාව කියන අතරතුර ආත්තම්මා හා අම්මා අත නිකටේ තබාගෙන ඇස් ලොකු කරගෙන මෙලෝ සිහියක් නැතුවාක් මෙන් බලන් සිටියෝය.

"ආරංචියෙ හැටියට කොස් කප කප හිටපු හිටපු පිහියෙන් ම තමයි බෙල්ල කපලා තියෙන්නෙ."

"හැබෑවට ම? සීවරම් දෙයි හාමුදුරුවනේ...මේවනං දෙවියො ම බලාගන්න ඕනෑ." යැයි ආත්තම්මා කීවාය.

මට තනිව ම ගෙට යෑමට ද බයක් ඇති විය. කතාවේ ඉතිරි ටික අසා සිටීමටත් බයක් ඇති විය. මම අම්මා ළඟට තවත් කිට්ටු වීමි.

"ඔය මනුස්සයට හිටියෙ එක දරුවයි, ඒ දරුවත් උස් මහත් කරන්න ඔය මනුස්සයා බොහොම දුක් වින්දා, දැන්නම් ඒ දරුවා හොදට ඉගෙන ගෙන රටකට වෙලා ඉන්න බවයි ආරංචි, කොච්චර ඉගෙන ගත්තත් ඉතින් අම්මගේ අප්පගෙ මරණෙට නැති දරුවෙක්ගෙන් වැඩක් තියෙනවායැ" ආත්තම්මා කතාවට උඩඟු තැබුවාය."

ඈ.. බං හවස ඒ මනුස්සයා දලු ඔඩොක්කුවකුත් කඩල ඒකත් දළු වාහනයට දීලා තියෙනව ලු හවස පහට විතර"

"හැබෑවට ම බං මේ ගමේ ඔහොම දෙයක් කොරන්න කවුද ඉන්නේ?"

"ඕවා කරන්න මේ ගමේ වෙන ජගතෙක් ඉන්නවයි බං ඉතිං, තක්කෙට ම ඕක අර කසිප්පු මුදලාලිගේ වැඩක්, ඒ මිනිහාගේ කසිප්පු රස්සාව කරගෙන යන්න හොඳ ම තැන ඔතන කියලා කීපසැරයක් ම ඔයි වත්ත ඉල්ලුවලු. ඔයි ගෑනි කැමති වෙලා නැතිලු. කීප සැරයක් ම පොලෝසියෙන් කසිප්පු මුදලාලි කුදලන් ගියේ ඔයි ගෑනි ඔත්තු දීපු නිසා ය කියලා කසිප්පු මුදලාලි ගමේ කීප දෙනෙක්ට කියලා තියෙනව. පාලු පලාත නිසා ගම්මු වැඩිය ඔයි පැත්තෙ යන්න එන්නෙත් නෑ නොවැ. කීපදෙනෙක් දැකලා තියෙනවා ඕකා හැමදාම ඔයි පැත්තෙ ගාටනවා කසිප්පු පෙරාගෙන. ඒ ගිහින් කීප දවසක් ම ඔයි ගෑනි එක්ක රණ්ඩු සරුවල් වෙලා තියෙනවලු" තාත්තා රහසින් කීවේය.

"උබලෑ ඕවා අපි එක්ක කතා බහ කොලාට වෙන උන් ඉස්සරහ කටේ කෙළ බික් හලනවා නෙමෙයි. අපිටත් උස් මහත් වෙච්චි ගැටිස්සියෙක් ඉන්නවා නොවැ" අම්මා පන්මල්ල අතට ගනිමින් කීවාය.

"බලාපන්.. අර කමලා නේද මේ පැත්තට කඩිමුඩියෙ දුවගෙන එන්නේ?" අම්මා පාර දෙස එබී බලමින් කීවාය.

"ආ... කුසුමලතා ආරංචි ද සිද්ධිය?" කියමින් කමලා නැන්දා අසල තනා ඇති ලී බංකුවක වාඩි වෙමින් කතාවට එකතු වූයේ ගම වටේ ගෙවල්වලට ගොස් මිනිමරුවා සොයන්නාක් මෙන් විපරම් කරමිනි.

"ඒක නොවැ කමලෝ අපිත් මේ කතා වුණේ" ආත්තම්මා ඇිලි දෙකක් තොල මත තබා ඒ මැදින් රතු ම රතු බුලත් කෙළ පහරක් මිදුලට විදිමින් කීවාය.

ඈ.. බං අක්කේ එතකොට ඔයි පිහිය ගෙට පිළිකන්නෙ තිබිලා හම්බ වුනා නම් මෙච්චර දියුණු රටේ ඕක කරපු එකා හොයාගන්න බැරිද?" අම්මා ඇසුවාය.

"පිහිය නම් කමක් නෑ බං. ඒ ගෑනිගෙ අතේ මිනිමරුවගේ කමීස කෑල්ලකුත් තිබිලා තියෙනවා නොවැ. අනිත් එක සිද්ධිය වුණ වෙලාවෙ ඉදන් මේ වෙනකනුත් කසිප්පු මුදලාලි ආ ගිය අතක් නෑලුනෙ"

"හැබෑටම?"

"නැතුව බං.. ඒත් පොලීසියේ උදවිය කිසිම තැකීමක් නොකර පිහිය අරගෙන ගියා කියන්නේ. කරපු එකා අල්ලන්න බැරි එක නෙමෙයි බං පුරස්නෙ..කරපු උන්ට ඕක යටි ගහන්න පොලීසියෙ මහතැනුත් උපකාර වෙන එක නොවැ..බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ නොවැ " කමලා නැන්දා බුලත් කො‍ළයේ එතූ හුණු, පුවක් ගුලිය කටට ඔබමින් කීවාය.

"අනේ ද කියන්නෙ බං.. ඕවා උඩ ඉන්න දෙයියන් වහන්සේල ම බලාගන්න ඕනෑ. මේ අපරාදෙ මේ ගමේ වෙච්ච පලවෙනි කලබගෑනිය නෙමෙයි නොවැ. අවසාන එකත් මේක නොවෙයි කියලා මට ඉර හ වගේ විස්වාසයි. මේවා සහ ගහන අපරාද" තාත්තාගේ මුහුණෙහි තිබුණේ කල කීරීමක ලකුණු ය.

දින කිහිපයක් ගෙවී ගියේ ය. ගමේ මිනිමැරුම පිළිබඳ ව හාවක් හූවක් නැත. කසිප්පු මුදලාලි ගැනත් ආරංචියක් නැත.

දිනක් උදෑසන කිසිවෙක් කුස්සියේ උස් හඩින් දොඩමලු වනු ඇසෙයි. ඒ කමලා නැන්දාගේ හඩ ය. මම wefඳන් නැගිට රෙදිපිළි අකුලා තබා කුස්සියට ගියෙමි.

  "අපූරුයි ගැටිස්සියෙක් නැගිටින වෙලාව" කියමින් කමලා නැන්දා මගේ දෙස ඔරවා බැලුවාය.

     මැටි කලයෙන් වතුර ටිකක් ගෙන කට සෝදා ගත් මම හිරමණය උඩින් වාඩි වුනෙමි.

 "අර කුඹුරේ ගෙදර මනුස්සයට කරපු අපරාදෙ ම මදැයි ඔයි මිනහට ඔහොම වෙන්න." අම්මා කිව්වාය.

මේ කතාවට මුල් ව ඇත්තේ ඊයේ හවස් යාමයේ සිදු වූ හදිසි අනතුරෙන් කසිප්පු මුදල්ලි මිය ගොස් සිටිම ය. ඔහු මිය ගොස් ඇත්තේ ගමේ ඇති ඇළ පහරින් එගොඩ වීමට ඇති කුඩා ඒදණ්ඩෙන් වැටී බෙල්ලේ උලක් ඇනීමෙනි. ඇති තරම් කසිප්පු බී මෙම ඒදණ්ඩෙන් එගොඩ වන ඔහු කසිප්පු නොබීම ඒදණ්ඩෙන් වැටුනේ කෙසේදැයි සියල්ලන්ට ම ගැටලුවකි.

                                                                                    - දිලිනි නිසංසලා -

  ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා  පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...